අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.10. සුගතවිනය සුත්තං

4.4.1.10. සුගතවිනය ගැන වදාළ දෙසුම

මහණෙනි, සුගතයන් වහන්සේ හෝ සුගතයන් වහන්සේගේ සුගත විනය නම් වූ සසුන ලෝකයෙහි පවතින්නේ නම් එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන් හට යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

මහණෙනි, සුගත යනු කවරහු ද? මහණෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ ලොවෙහි පහළ වෙති. ඒ තථාගතයෝ අරහත්යහ. සම්මා සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූයහ. අනුත්තරෝ පුරිසදම්ම සාරථීයහ. සත්ථා දේවමනුස්සානංයහ. බුද්ධයහ. භගවත්යහ වශයෙනි. මහණෙනි, මේ සුගතයාණෝ ය.

මහණෙනි, සුගතවිනය යනු කුමක්ද? ඒ තථාගත තෙමේ දහම් දෙසයි. මුල කලණ වූත්, මැද කලණ වූත්, නිමාව කලණ වූත්, අර්ථ සහිත වූත්, ව්‍යඤ්ජන සහිත වූත්, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු බඹසර පවසන්නේ වෙයි. මහණෙනි, මෙය සුගත විනය යි.

මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ හෝ සුගතයන් වහන්සේගේ සුගත විනය නම් වූ සසුන ලෝකයෙහි පවතින්නේ නම් එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන් හට යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

මහණෙනි, සද්ධර්මයෙහි විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස මේ කරුණු සතරක් හේතු වෙයි. ඒ කවර කරුණු සතරක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂූහු වැරදි ලෙස ගන්නා ලද වැරදි අයුරින් ගත් පද ප්‍රකාශනයන්ගෙන් යුතුව සූත්‍රාන්තය හදාරති. මහණෙනි, වැරදි ලෙස ගන්නා ලද පද ප්‍රකාශයන්ගේ අර්ථය ද වැරදි ලෙස එන්නේ වෙයි. මහණෙනි, සද්ධර්මය නැසීම පිණිස ත්, අතුරුදහන් වීම පිණිස ත් පවතින පළමුවෙනි කරුණ මෙය යි.

2. තව ද මහණෙනි, භික්ෂූහු අකීකරු වෙති. අකීකරු බව ඇතිකරන දෙයින් යුක්ත වෙති. ඉවසීම නැත්තාහු වෙති. අනුශාසනය ගෞරවයෙන් පැදකුණු කොට නොගනිති. මහණෙනි, සද්ධර්මය නැසීම පිණිස ත්, අතුරුදහන් වීම පිණිස ත් පවතින දෙවෙනි කරුණ මෙය යි.

3. තව ද මහණෙනි, යම් ඒ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, උගත් සූත්‍රාන්තයෝ ඇද්ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, ප්‍රාතිමෝක්ෂ මාතෘකා දරත් ද, ඔවුහු අන්‍ය භික්ෂූන් හට සූත්‍රාන්ත ධර්මයන් සකස් කොට නොහදාරවත්. ඒ භික්ෂූන්ගේ ඇවෑමෙන් එම සූත්‍රාන්තයන් මුලින් ම සිඳී යයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, සද්ධර්මය නැසීම පිණිස ත්, අතුරුදහන් වීම පිණිස ත් පවතින තුන්වෙනි කරුණ මෙය යි.

4. තව ද මහණෙනි, ස්ථවිර භික්ෂූහු බහුල වූ සිව්පසය පිණිස පිළිපන්නාහු වෙති. ශික්ෂා ශාසනය සැහැල්ලුවට ගනිති. පංච නීවරණයන් පෙරටු කොට සිටිති. හුදෙකලා විවේකයෙහි භාවනා කිරීම අත්හැර දමති. නොපැමිණි මාර්ගඵල අධිගමයන් ලබාගැනීම පිණිස සාක්ෂාත් නොකළ මාර්ගඵලයන් සාක්ෂාත් කිරීම පිණිස වීරිය නොඅරඹති. ඔවුන්ගේ පසුපෙළ ජනතාව ද ඔවුන් දරණ දෘෂ්ටියට ම පැමිණෙන්නේ වෙයි. එවිට ඒ ජනතාව ද සිව්පසය බහුල කොට වසයි. ශික්ෂා ශාසනය සැහැල්ලුවට ගනියි. නීවරණයන් පෙරට ගනියි. හුදෙකලාව භාවනා කිරීම අත්හරියි. නොපත් මගඵල ලබනු පිණිස ත්, පසක් නොකළ මගඵල පසක් කිරීම පිණිස ත් වෙර නොඅරඹයි. මහණෙනි, සද්ධර්මය නැසීම පිණිස ත්, අතුරුදහන් වීම පිණිස ත් පවතින සිව්වෙනි කරුණ මෙය යි.

මහණෙනි, සද්ධර්මයෙහි විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස මේ කරුණු සතර හේතු වෙයි.

මහණෙනි, සද්ධර්මයෙහි විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස මේ කරුණු සතරක් හේතු වෙයි. ඒ කවර කරුණු සතරක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂූහු මනා ලෙස ගන්නා ලද මනා අයුරින් ගත් පද ප්‍රකාශනයන්ගෙන් යුතුව සූත්‍රාන්තය හදාරති. මහණෙනි, මනා ලෙස ගන්නා ලද පද ප්‍රකාශයන්ගේ අර්ථය ද මනා ලෙස එන්නේ වෙයි. මහණෙනි, සද්ධර්මය නොනැසීම පිණිස ත්, අතුරුදහන් නොවීම පිණිස ත් පවතින පළමුවෙනි කරුණ මෙය යි.

2. තව ද මහණෙනි, භික්ෂූහු කීකරු වෙති. කීකරු බව ඇතිකරන දෙයින් යුක්ත වෙති. ඉවසීම ඇත්තාහු වෙති. අනුශාසනය ගෞරවයෙන් පැදකුණු කොට ගනිති. මහණෙනි, සද්ධර්මය නොනැසීම පිණිස ත්, අතුරුදහන් නොවීම පිණිස ත් පවතින දෙවෙනි කරුණ මෙය යි.

3. තව ද මහණෙනි, යම් ඒ භික්ෂූහු බහුශ්‍රැත වෙත් ද, උගත් සූත්‍රාන්තයෝ ඇද්ද, ධර්මධර වෙත් ද, විනයධර වෙත් ද, ප්‍රාතිමෝක්ෂ මාතෘකා දරත් ද, ඔවුහු අන්‍ය භික්ෂූන් හට සූත්‍රාන්ත ධර්මයන් සකස් කොට හදාරවත්. ඒ භික්ෂූන්ගේ ඇවෑමෙන් එම සූත්‍රාන්තයන් මුලින් ම සිඳී නොයයි. පිළිසරණ ඇති වෙයි. මහණෙනි, සද්ධර්මය නොනැසීම පිණිස ත්, අතුරුදහන් නොවීම පිණිස ත් පවතින තුන්වෙනි කරුණ මෙය යි.

4. තව ද මහණෙනි, ස්ථවිර භික්ෂූහු බහුල වූ සිව්පසය පිණිස පිළිපන්නාහු නොවෙති. ශික්ෂා ශාසනය සැහැල්ලුවට නොගනිති. පංච නීවරණයන් පෙරටු කොට නොසිටිති. හුදෙකලා විවේකයෙහි භාවනා කරති. නොපැමිණි මාර්ගඵල අධිගමයන් ලබාගැනීම පිණිස සාක්ෂාත් නොකළ මාර්ගඵලයන් සාක්ෂාත් කිරීම පිණිස වීරිය අරඹති. ඔවුන්ගේ පසුපෙළ ජනතාව ද ඔවුන් දරණ දෘෂ්ටියට ම පැමිණෙන්නේ වෙයි. එවිට ඒ ජනතාව ද සිව්පසය බහුල කොට නොවසයි. ශික්ෂා ශාසනය සැහැල්ලුවට නොගනියි. නීවරණයන් පෙරට නොගනියි. හුදෙකලාව භාවනා කිරීම අත් නොහරියි. නොපත් මගඵල ලබනු පිණිස ත්, පසක් නොකළ මගඵල පසක් කිරීම පිණිස ත් වෙර අරඹයි. මහණෙනි, සද්ධර්මය නොනැසීම පිණිස ත්, අතුරුදහන් නොවීම පිණිස ත් පවතින සිව්වෙනි කරුණ මෙය යි.

මහණෙනි, සද්ධර්මයෙහි විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස මේ කරුණු සතර හේතු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සුගතවිනය සූත්‍රය නිමා විය.

පළමු වෙනි ඉන්ද්‍රිය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඉන්ද්‍රිය සූත්‍රය, බල සූත්‍ර සතර, කල්ප සූත්‍රය, රෝග සූත්‍රය, පරිහානි සූත්‍රය, භික්ඛුණී සූත්‍රය සහ සුගත සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M