එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා තමා තුළ සතර කරුණක් දකින්නට ලැබෙන්නේ නම් ‘මම කුසල ධර්මයන්ගෙන් පිරිහෙන කෙනෙක්මි’ යි නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය පිරිහීමකි’ යි වදාරණ ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;
බොහෝ රාග ඇති බව ය. බොහෝ ද්වේෂ ඇති බව ය. බොහෝ මුළාව ඇති බව ය. ඔහුගේ ප්‍රඥා ඇස ගාම්භීර කරුණු පිළිබඳ ව ස්පර්ශ නොවෙයි ද යන මෙය යි.
ආයුෂ්මත්නි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා තමා තුළ මෙම සතර කරුණ දකින්නට ලැබෙන්නේ නම් ‘මම කුසල ධර්මයන්ගෙන් පිරිහෙන කෙනෙක්මි’ යි නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය පිරිහීමකි’ යි වදාරණ ලද්දේ ය.
ආයුෂ්මත්නි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා තමා තුළ සතර කරුණක් දකින්නට ලැබෙන්නේ නම් ‘මම කුසල ධර්මයන්ගෙන් නොපිරිහෙන කෙනෙක්මි’ යි නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය නොපිරිහීමකි’ යි වදාරණ ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;
තුනී වූ රාග ඇති බව ය. තුනී වූ ද්වේෂ ඇති බව ය. තුනී වූ මුළාව ඇති බව ය. ඔහුගේ ප්‍රඥා ඇස ගාම්භීර කරුණු පිළිබඳ ව ස්පර්ශ වෙයි ද යන මෙය යි.
ආයුෂ්මත්නි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා තමා තුළ මෙම සතර කරුණ දකින්නට ලැබෙන්නේ නම් ‘මම කුසල ධර්මයන්ගෙන් නොපිරිහෙන කෙනෙක්මි’ යි නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය නොපිරිහීමකි’ යි වදාරණ ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
පරිහානි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M