අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.7. රෝග සුත්තං

4.4.1.7. රෝගී වීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ රෝගයෝ දෙකකි. ඒ කවර දෙකක් ද යත්;

කායික රෝගය ත්, මානසික රෝගය ත් ය.

මහණෙනි, කායික රෝගයෙන් එක් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන සත්වයෝ දකින්නට ලැබෙති. එමෙන් ම දෑ අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, තුන් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, සිව් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, පස් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, දස අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, විසි අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, තිස් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, සතළිස් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, පනස් අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන, සිය අවුරුද්දකුත් නීරෝග බව ප්‍රතිඥා දෙන සත්වයෝ දකින්නට ලැබෙති.

මහණෙනි, මානසික රෝගයෙන් යම් සත්වයෝ මොහොතකුත් නීරෝග බව ප්‍රතිඥා දෙත් ද, රහතන් වහන්සේලා හැරුණු කොට ඒ සත්වයෝ ලෝකයෙහි දුර්ලභ වෙති.

මහණෙනි, පැවිද්දාගේ මේ රෝග සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව බොහෝ ආශා ඇත්තේ වෙයි. එහි දුකට පත්වූයේ වෙයි. ලද සිවුරෙන්, ලද පිණ්ඩපාතයෙන්, ලද කුටියෙන්, ලද බෙහෙත් පිරිකරෙන් සතුටුවන්නේ නොවෙයි. හේ බොහෝ ආශා ඇති ව දුකින් යුතුව, ලද සිවුරෙන්, ලද පිණ්ඩපාතයෙන්, ලද කුටියෙන්, ලද බෙහෙත් පිරිකරෙන් සතුටු නොවී අවඥා නොලබනු පිණිස ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනු පිණිස පවිටු ආශාවක් ඇති කරගනියි. හේ අවඥා නොලැබීම වෙනුවෙන්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම වෙනුවෙන් උත්සාහ කරයි. වෙහෙස මහන්සි වෙයි. වෑයම් කරයි. හේ එය අපේක්ෂාවෙන් ම දායක පවුල් කරා එළැඹෙයි. එය අපේක්ෂාවෙන් ම වාඩි වෙයි. එය අපේක්ෂාවෙන් ම බණ කියයි. එය අපේක්ෂාවෙන් ම වැසිකිළි කැසිකිලි වේගය ත් උසුලාගෙන සිටියි. මහණෙනි, මෙය වනාහී පැවිද්දහුගේ සතර රෝගයෝ ය.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුත්තේ ය. ‘අපි බොහෝ ආශා නැති උදවිය වන්නෙමු. එහි දුකට පත් නොවන්නෝ වන්නෙමු. ලද සිවුරෙන්, ලද පිණ්ඩපාතයෙන්, ලද කුටියෙන්, ලද බෙහෙත් පිරිකරෙන් නොසතුටු නොවන්නෝ වන්නෙමු. අවඥා නොලබනු පිණිස ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනු පිණිස පවිටු ආශා ඇති නොකරගන්නෝ වන්නෙමු. අවඥා නොලැබීම වෙනුවෙන්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම වෙනුවෙන් උත්සාහ නොකරන්නෙමු. වෙහෙස මහන්සි නොවෙන්නෙමු. වෑයම් නොකරන්නෙමු. එය අපේක්ෂාවෙන් ම සීතල, උණුසුම, බඩගින්න, පිපාසය, මැසි මදුරු පහස, අව් සුළං පහස, සර්පාදීන්ගේ පහස නොඉවසන්නමෝ වම්හ. එය අපේක්ෂාවෙන් ම නපුරු කොට කියන ලද, නපුරු කොට පැමිණි වචන නොඉවසන්නමෝ වම්හ. දරුණු වූ, කටුක වූ, කර්කශ වූ, අමිහිරි වූ, අමනාප වූ, මාරාන්තික වූ දුක්ඛිත ශාරීරික වේදනා නොඉවසන සැහැවි ඇත්තමෝ වන්නෙමු’ යි. මහණෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.

සාදු! සාදු!! සාදු!!!

රෝග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M