අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.3.5. තතිය පුග්ගල සුත්තං

4.3.3.5. පුද්ගලයන් ගැන වදාළ තෙවෙනි දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත මෛත්‍රී සහගත සිතින් විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය කල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ බඹලොව දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ බඹලොව දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත්

පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.

2.-4. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ….(පෙ)…. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, ආභස්සර දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය දෙකල්පයකි. ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. සුභකිණ්ණ බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, සුභකිණ්ණ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය සතර කල්පයකි. ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත උපේක්ෂා සහගත සිතින් විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට වේහප්ඵල බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය පන්සිය කල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

තතිය පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M