මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල ව වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය කල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ බඹලොව දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ බඹලොව දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.
2. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, තමා තුළ පැහැදීම ඇති කරන සිතෙහි එකඟ බවින් යුතු, විතර්ක විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල ව වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, ආභස්සර දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය දෙකල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ ආභස්සර දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ ආභස්සර දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.
3. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතියට ද නොඇල්මෙන්, උපේක්ෂාවෙන් යුතු වූයේ, මනා සිහි නුවණින් යුතුව වාසය කරයි ද, කයෙන් සැපයකුත් විඳියි ද, ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව සැපසේ වාසය කිරීම වශයෙන් යම් සමාධියක් කියන ලද්දේ ද ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල ව වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට සුභකිණ්ණ බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, සුභකිණ්ණ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය සතර කල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ සුභකිණ්ණ දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ සුභකිණ්ණ දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.
4. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් සැපය ද ප්රහාණය කිරීමෙන්, දුක ද ප්රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස දොම්නස ඉක්මවා යෑමෙන් දුක් සැප රහිත වූ, පාරිශුද්ධ සිහියෙන් හා උපේක්ෂාවෙන් යුතු සිව් වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ඒ ධ්‍යාන සුඛය ආශ්වාදනය කරයි. එයට ම කැමති වෙයි. ඒ ධ්‍යානයෙන් ම සංතෝෂයට පත් වෙයි. ඒ ධ්‍යානය තුළ ම සිටියේ, එහි ම බැසගත්තේ, එහි බහුල ව වසන්නේ, නොපිරිහුණු ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට වේහප්ඵල බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය පන්සිය කල්පයකි. එහිදී පෘථග්ජන තැනැත්තා ආයු ඇතිතාක් සිට යම්තාක් ඒ වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා නිරයට ද යයි. තිරිසන් යෝනියට ත් යයි. ප්‍රේත විෂයට ත් යයි. එනමුදු භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වනාහී එහි ආයු ඇතිතාක් සිට ඒ වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ යම්තාක් ඇද්ද, ඒ සියල්ල ගෙවා දමා ඒ බඹලොවෙහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් යම් මේ ගතියක් ඇද්ද, උපතක් ඇද්ද, එහි මෙය විශේෂ වෙයි. මෙය පැහැදිලි විශේෂයක් වෙයි. මේ වෙනසක් වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M