මහණෙනි, දියට බසින තැනැත්තා හට මේ සතර භය කැමති විය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
ඌමි භය හෙවත් රළ පහරින් වන භය යි. කුම්භීල භය හෙවත් කිඹුලන්ගෙන් වන භය යි. ආවට්ට භය හෙවත් දිය සුළියෙන් වන භය යි. සුසුකා භය හෙවත් චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන භය යි.
මහණෙනි, මේ භීතීහු සතර දියට බසින තැනැත්තා හට කැමති විය යුත්තාහ.
මහණෙනි. එසෙයින් ම මෙහිලා ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගෙයින් නික්ම මේ ධර්ම විනයෙහි පැවිදි වූ ඇතැම් කුලපුත්‍රයෙකු හට මේ සතර භීතීහු කැමති විය යුත්තාහ. ඒ කවර සතරක් ද යත්;
ඌමි භය ය, කුම්භීල භය ය, ආවට්ට භය ය, සුසුකා භය ය.
1. මහණෙනි, ඌමි භය හෙවත් රළ වේගයෙන් වන භය යනු කුමක් ද? මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ‘අහෝ! මම් ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස් වලින් යුතු කෙනෙක්මි. දුකට පත් වූ කෙනෙක්මි. දුකින් මඩනා ලද්දෙමි. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම අවසානයක් දකින්නට ඇත් නම් මැනැවැ’යි ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙයි.
එසේ පැවිදි වූ කල්හී ඔහුට සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද කරති. අනුශාසනා කරති. ‘ඔබ ඉදිරියට යා යුත්තේ මේ අයුරිනි. ඔබ ආපසු හැරී ආ යුත්තේ මේ අයුරිනි. ඔබ ඉදිරිය බැලිය යුත්තේ මේ අයුරිනි. ඔබ වටපිට බැලිය යුත්තේ මේ අයුරිනි. ඔබ අත් පා හැකිලිය යුත්තේ මේ අයුරිනි. ඔබ අත් පා දිග හැරිය යුත්තේ මේ අයුරිනි. ඔබ දෙපට සිවුර – පාත්‍රා – සිවුරු දැරිය යුත්තේ මේ අයුරිනි’ වශයෙනි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අපි කලින් ගිහි ගෙදර වසද්දී අන්‍යයන්ට අවවාද කළෙමු. අනුශාසනා ත් කළෙමු. මේ උදවිය වනාහී අපගේ දරුවෝ වැනියහ. මුණුබුරෝ වැනියහ. මෙබඳු අය ත් අපට අවවාද කළ යුතු යැයි, අනුශාසනා කළ යුතු යැයි හඟිති’ යි හේ කිපෙයි. නොසතුටු වෙයි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට යළි හීන වූ ගිහි බවට පත්වෙයි. මහණෙනි, මේ භික්ෂුව රළ වේග භයෙන් භීතියට පත්වූයේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත්වූයේ යැයි කියනු ලැබේ. මහණෙනි, රළ වේග භය යනු ක්‍රෝධ උපායාසයට කියන නමකි. මහණෙනි, මෙය ඌමි භය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, කුම්භීල භය හෙවත් කිඹුලන්ගෙන් වන භය යනු කුමක් ද? මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ‘අහෝ! මම් ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස් වලින් යුතු කෙනෙක්මි. දුකට පත් වූ කෙනෙක්මි. දුකින් මඩනා ලද්දෙමි. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම අවසානයක් දකින්නට ඇත් නම් මැනැවැ’යි ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙයි.
එසේ පැවිදි වූ කල්හී ඔහුට සබ්‍රහ්මචාරීන් වහන්සේලා අවවාද කරති. අනුශාසනා කරති. ‘ඔබ කෑ යුත්තේ මෙය යි. ඔබ මෙය නොකෑ යුත්තේ ය. ඔබ මෙය අනුභව කළ යුත්තේ ය. ඔබ මෙය අනුභව නොකළ යුත්තේ ය. ඔබ මෙය රස විඳිය යුත්තේ ය. ඔබ මෙය රස නොවිඳිය යුත්තේ ය. ඔබ මෙය පානය කළ යුත්තේ ය. ඔබ මෙය පානය නොකළ යුත්තේ ය. ඔබ විසින් කැප වූ දෙය කෑ යුතුය. ඔබ විසින් අකැප වූ දෙය නොකෑ යුතුය. ඔබ විසින් කැප වූ දෙය අනුභව කළ යුතුය. ඔබ විසින් අකැප වූ දෙය අනුභව නොකළ යුතුය. ඔබ විසින් කැප වූ දෙය රස විඳිය යුතුය. ඔබ විසින් අකැප වූ දෙය රස නොවිඳිය යුතුය. ඔබ විසින් කැප වූ දෙය පානය කළ යුතුය. ඔබ විසින් අකැප වූ දෙය පානය නොකළ යුතුය. ඔබ විසින් සුදුසු කාලයෙහි කෑ යුතුය. විකාලයෙහි නොකෑ යුතුය. ඔබ විසින් සුදුසු කාලයෙහි අනුභව කළ යුතුය. විකාලයෙහි අනුභව නොකළ යුතුය. ඔබ විසින් සුදුසු කාලයෙහි රස විඳිය යුතුය. විකාලයෙහි රස නොවිඳිය යුතුය. ඔබ විසින් සුදුසු කාලයෙහි පානය කළ යුතුය. විකාලයෙහි පානය නොකළ යුතුය’ වශයෙනි.
එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අපි කලින් ගිහි ගෙදර වසද්දී යමක් කැමති ද එය කෑවෙමු. යමක් අකමැති ද එය නොකෑවෙමු. යමක් කැමති නම් එය අනුභව කළෙමු. යමක් අකමැති නම් එය අනුභව නොකළෙමු. යමක් කැමති නම් එය රස වින්දෙමු. යමක් අකමැති නම් එය රස නොවින්දෙමු. යමක් කැමති නම් එය පානය කළෙමු. යමක් අකමැති නම් එය පානය නොකළෙමු. කැප දේ ත් කෑවෙමු. අකැප දේ ත් කෑවෙමු. කැප දේ ත් අනුභව කළෙමු. අකැප දේ ත් අනුභව කළෙමු. කැප දේ ත් රස වින්දෙමු. අකැප දේ ත් රස වින්දෙමු. කැප දේ ත් පානය කළෙමු. අකැප දේ ත් පානය කළෙමු. කාලයේ ත් කෑවෙමු. විකාලයේ ත් කෑවෙමු. කාලයේ ත් අනුභව කළෙමු. විකාලයේ ත් අනුභව කළෙමු. කාලයේ ත් රස වින්දෙමු. විකාලයේ ත් රස වින්දෙමු. කාලයේ ත් පානය කළෙමු. විකාලයේ ත් පානය කළෙමු. යම් ඒ ශ්‍රද්ධාවන්ත ගෘහපතීහු අපට දහවල් විකාලයෙහි ත් ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ආදිය දෙති. එහිලා ත් මේ උදවිය අපට මුඛවාඩම් බැන්ද පරිද්දෙන් කටයුතු කරති’ යි හේ කිපෙයි. නොසතුටු වෙයි. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට යළි හීන වූ ගිහි බවට පත්වෙයි. මහණෙනි, මේ භික්ෂුව කිඹුලන්ගෙන් වන භයෙන් භීතියට පත්වූයේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත්වූයේ යැයි කියනු ලැබේ. මහණෙනි, කිඹුලන්ගෙන් වන භය යනු බොහෝ සෙයින් කන බඩජහරිකමට කියන නමකි. මහණෙනි, මෙය කුම්භීල භය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, ආවට්ට භය හෙවත් දිය සුළියෙන් වන භය යනු කුමක් ද? මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ‘අහෝ! මම් ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස් වලින් යුතු කෙනෙක්මි. දුකට පත් වූ කෙනෙක්මි. දුකින් මඩනා ලද්දෙමි. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම අවසානයක් දකින්නට ඇත් නම් මැනැවැ’යි ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙයි.
මෙසේ පැවිදි වූ හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා, පාත්‍රය හා සිවුරු ගෙන ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙයි. රකින ලද කයකින් තොර ව, රකින ලද වචනයෙන් තොර ව, රකින ලද සිතින් තොර ව, සිහිය නොපිහිටුවාගෙන, අසංවර ඉඳුරන්ගෙන් යුතු ව යයි. එහිදී හේ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ පංච කාම ගුණයන්ගෙන් ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් සිටින ආකාරයක් දකියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අනේ අපිත් කලින් ගෙදර සිටියෙමු. පංච කාම ගුණයන් පිරිවරාගෙන එයින් සතුටු ව වාසය කළෙමු. මාගේ නිවසෙහි ද භෝග සම්පත් ඇත්තේ ය. මට ත් භෝග සම්පත් අනුභව කරන්නට ත්, පින් කරන්නට ත් හැකි ය. එහෙයින් මම් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත් ව භෝග සම්පත් අනුභව කරන්නෙම් නම්, පින් ද කරන්නෙම් නම් මැනැවැ’ යි හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට යළි හීන වූ ගිහි බවට පත්වෙයි. මහණෙනි, මේ භික්ෂුව දිය සුළියෙන් වන භයෙන් භීතියට පත්වූයේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත්වූයේ යැයි කියනු ලැබේ. මහණෙනි, දිය සුළියෙන් වන භය යනු පංච කාම ගුණයන්ට කියන නමකි. මහණෙනි, මෙය ආවට්ට භය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, සුසුකා භය හෙවත් චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන භය යනු කුමක් ද? මෙහිලා ඇතැම් කුලපුත්‍රයෙක් ‘අහෝ! මම් ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස් වලින් යුතු කෙනෙක්මි. දුකට පත් වූ කෙනෙක්මි. දුකින් මඩනා ලද්දෙමි. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම අවසානයක් දකින්නට ඇත් නම් මැනැවැ’යි ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙයි.
මෙසේ පැවිදි වූ හේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා, පාත්‍රය හා සිවුරු ගෙන ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙයි. රකින ලද කයකින් තොර ව, රකින ලද වචනයෙන් තොර ව, රකින ලද සිතින් තොර ව, සිහිය නොපිහිටුවාගෙන, අසංවර ඉඳුරන්ගෙන් යුතු ව යයි. එහිදී හේ නොමනා අයුරින් වස්ත්‍ර හැඳගත් හෝ නොමනා අයුරින් වස්ත්‍ර පොරොවාගත් හෝ ස්ත්‍රියක දකියි. නොමනා අයුරින් වස්ත්‍ර හැඳගත් හෝ නොමනා අයුරින් වස්ත්‍ර පොරොවා ගත් ස්ත්‍රිය දැකීමෙන් ඔහුගේ සිත රාගයෙන් පීඩාවට පත්වෙයි. රාගයෙන් පීඩාවට පත් කරනු ලැබූ සිතින් යුතු හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට යළි හීන වූ ගිහි බවට පත්වෙයි. මහණෙනි, මේ භික්ෂුව චණ්ඩ මත්ස්‍යයන් ගෙන් වන භයෙන් භීතියට පත්වූයේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත්වූයේ යැයි කියනු ලැබේ. මහණෙනි, චණ්ඩ මත්ස්‍යයන්ගෙන් වන භය යනු කාන්තාවන්ට කියන නමකි. මහණෙනි, මෙය සුසුකා භය යැයි කියනු ලැබේ.
මහණෙනි. ශ්‍රද්ධාවෙන් යුතුව ගිහිගෙයින් නික්ම මේ ධර්ම විනයෙහි පැවිදි වූ ඇතැම් කුලපුත්‍රයෙකු හට මේ සතර භීතීහු කැමති විය යුත්තාහ.
සාදු! සාදු!! සාදු!!!
උදකෝරෝහ භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M