සැවැත් නුවර දී ය …….
මහණෙනි, මේ භය සතරකි. ඒ කවර සතරක් ද යත්; තමාගෙන් තමාට නින්දා ලැබීමේ භය, අනුන්ගෙන් නින්දා ලැබීමේ භය, දඬුවම් ලැබීමේ භය, දුගතියෙහි ඉපදීමේ භය.
1. මහණෙනි, තමාගෙන් තමාට නින්දා ලැබීමේ භය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් මෙසේ නුවණින් සළකයි. ‘ඉදින් මම ත් කයින් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, කිම? මගේ සිත මට සීලයෙන් නින්දා නොකරන්නේ දැ’යි. මෙසේ තමාගෙන් තමාට නින්දා ලැබීමේ භයෙන් බියපත් වූයේ කාය දුෂ්චරිතය අත්හැර කාය සුචරිතය දියුණු කරයි. වචී දුෂ්චරිතය අත්හැර වචී සුචරිතය දියුණු කරයි. මනෝ දුෂ්චරිතය අත්හැර මනෝ සුචරිතය දියුණු කරයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මහණෙනි, මෙය තමාගෙන් තමාට නින්දා ලැබෙන භය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, අනුන්ගෙන් තමාට නින්දා ලැබීමේ භය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් මෙසේ නුවණින් සළකයි. ‘ඉදින් මම ත් කයින් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, කිම? කවුරුන් හෝ මට සීලයෙන් නින්දා නොකරන්නාහු දැ’යි. මෙසේ අනුන්ගෙන් තමාට නින්දා ලැබීමේ භයෙන් බියපත් වූයේ කාය දුෂ්චරිතය අත්හැර කාය සුචරිතය දියුණු කරයි. වචී දුෂ්චරිතය අත්හැර වචී සුචරිතය දියුණු කරයි. මනෝ දුෂ්චරිතය අත්හැර මනෝ සුචරිතය දියුණු කරයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මහණෙනි, මෙය අනුන්ගෙන් තමාට නින්දා ලැබෙන භය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, දඬුවම් ලැබීමේ භය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් අපරාධකාරී සොරෙකු දකියි. ඔහුට රජයෙන් දඬුවම් නියම වෙයි. විවිධ වූ දඬුවමට ලක්වෙයි. ඔහුට කසයෙන් ද තලති. වේවැලෙනුත් තලති. දඬුමුගුරුවලිනුත් තලති. අත් ද සිඳිති. පා ත් සිඳිති. අත් පා ත් සිඳිති. කනුත් සිඳිති. නාසා ත් සිඳිති. කන් නාසා ත් සිඳිති. බිලංගථාලික නම් වධය දෙති. සංඛමුණ්ඩික නම් වධය දෙති. රාහුමුඛ නම් වධය දෙති. ජෝතිමාලික නම් වධය දෙති. හත්ථ පජ්ජෝතික නම් වධය දෙති. ඒරකවත්ථික නම් වධය දෙති. චීරකවාසික නම් වධය දෙති. ඒණෙය්‍යයක නම් වධය දෙති. බලිසමංසික නම් වධය දෙති. කහාපණක නම් වධය දෙති. ඛාරාපතච්ඡික නම් වධය දෙති. පළිඝපරිවත්ථික නම් වධය දෙති. පළාලපීඨක නම් වධය දෙති. උතුරන තෙලු ත් වත් කරති. සුනඛයන් ලවා ත් කවති. පණපිටින් උල හිඳුවති. කඩුවෙනුත් හිස සිඳිති.
එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම් බඳු වූ පාප කර්මයන් කිරීම හේතුවෙන් අපරාධකාරී සොරෙකු ගෙන රජයෙන් දඬුවම් නියම වෙයි ද, විවිධ වූ දඬුවමට ලක්වෙයි ද, ….(පෙ)…. කඩුවෙනුත් හිස සිඳිත් ද, මම ත් මෙබඳු වූ පව් කමක් කරන්නෙම් නම් රජදරුවෝ මා ත් අල්වාගෙන මෙබඳු වූ දඬුවම් කරන්නාහු ය. මට ද කසයෙන් ද තලන්නාහු ය. වේවැලෙනුත් තලන්නාහු ය. දඬුමුගුරුවලිනුත් තලන්නාහු ය. අත් ද සිඳින්නාහු ය. පා ත් සිඳින්නාහු ය. අත් පා ත් සිඳින්නාහු ය. කනුත් සිඳින්නාහු ය. නාසා ත් සිඳින්නාහු ය. කන් නාසා ත් සිඳින්නාහු ය. බිලංගථාලික නම් වධය දෙන්නාහු ය. සංඛමුණ්ඩික නම් වධය දෙන්නාහු ය. රාහුමුඛ නම් වධය දෙන්නාහු ය. ජෝතිමාලික නම් වධය දෙන්නාහු ය. හත්ථ පජ්ජෝතික නම් වධය දෙන්නාහු ය. ඒරකවත්ථික නම් වධය දෙන්නාහු ය. චීරකවාසික නම් වධය දෙන්නාහු ය. ඒණෙය්‍යයක නම් වධය දෙන්නාහු ය. බලිසමංසික නම් වධය දෙන්නාහු ය. කහාපණක නම් වධය දෙන්නාහු ය. ඛාරාපතච්ඡික නම් වධය දෙන්නාහු ය. පළිඝපරිවත්ථික නම් වධය දෙන්නාහු ය. පළාලපීඨක නම් වධය දෙන්නාහු ය. උතුරන තෙලු ත් වත් කරන්නාහු ය. සුනඛයන් ලවා ත් කවන්නාහු ය. පණපිටින් උල හිඳුවන්නාහු ය. කඩුවෙනුත් හිස සිඳින්නාහු ය’ යි ඔහු දඬුවම් ලැබීමේ භයෙන් බියපත් වූයේ අනුන් සතු වස්තුව පැහැර නොගැනීමෙන් යුතුව හැසිරෙයි. මහණෙනි, මෙය දඬුවමෙන් ලැබෙන භය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, දුගතියෙහි ඉපදීමේ භය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් මෙසේ නුවණින් සළකයි. ‘කාය දුෂ්චරිතයෙහි භයානක විපාක පරලොවදී ලැබෙයි. වචී දුෂ්චරිතයෙහි භයානක විපාක පරලොවදී ලැබෙයි. මනෝ දුෂ්චරිතයෙහි භයානක විපාක පරලොවදී ලැබෙයි. ඉදින් මම ත් කාය දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, වචී දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, මනෝ දුෂ්චරිතයෙහි හැසිරෙන්නෙම් නම්, කිම? එකරුණ හේතුවෙන් මම ත් කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදින්නෙම් නොවෙම් ද?’ යි. ඔහු දුගතියෙහි ඉපදීමේ භයෙන් බියට පත්වූයේ කාය දුෂ්චරිතය හැර දමා කාය සුචරිතය දියුණු කරයි. වාක් දුෂ්චරිතය හැර දමා වාක් සුචරිතය දියුණු කරයි. මනෝ දුෂ්චරිතය හැර දමා මනෝ සුචරිතය දියුණු කරයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මහණෙනි, මෙය වනාහී දුගති භය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී සතර භය යි.
සාදු! සාදු!! සාදු!!!
භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M