අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.4. නාග සුත්තං

4.3.2.4. හස්තිරාජයා ගැන වදාළ දෙසුම

මහණෙනි, රජුගේ හස්තිරාජයා සතර කරුණකින් යුක්ත වූ විට රජුට යෝග්‍ය වූයේ වෙයි. රජු විසින් පරිහරණය කළ යුතු වූයේ වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට අයත් වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

1. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් අසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යම් කරුණෙක්හිලා ඒ ඇතුන් දමනය කරන තැනැත්තා විසින් කරවයි ද, එය ඇතා විසින් කලින් කළ දෙයක් විය හැකි ය. එසේ ත් නැත්නම් නොකළ දෙයක් විය හැකි ය. හේ එකරුණ මැනැවින් සිත යොමුකොට, මුළු සිත ම එයට යොදවා, යොමු කළ කන් ඇතිව අසන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා අසන්නේ ඔය අයුරින් ය.

2. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් නසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යුද බිමට ගිය කල්හී ඇතුත් නසයි. ඇතරුවාත් නසයි. අශ්වයා ත් නසයි. අසරුවා ත් නසයි. රථ ත් නසයි. රථයෙහි නැගී සිටින්නවුන් ද නසයි. පාබල සෙනඟ ත් නසයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා නසන්නේ ඔය අයුරින් ය.

3. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් ඉවසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා සංග්‍රාම භූමියට ගිය කල්හී සැත් පහර ද, හී පහර ද, කඩු පහර ද, පොරෝ පහර ද ඉවසන්නේ වෙයි. බෙර හඬ, පනා බෙර හඬ, සක් පිඹීම් ආදී දෙදුරුම් කන ශබ්ද ඉවසන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා ඉවසන්නේ ඔය අයුරින් ය.

4. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් යන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යම් කරුණක් උදෙසා ඇතුන් දමනය කරන තැනැත්තා යම් දිශාවකට මෙහෙයවයි ද, එය කලින් ගිය දිශාවක් විය හැකි ය. එසේ ත් නැත්නම් නොගිය දිශාවක් විය හැකි ය. හේ වහා ම ඒ දිශාව බලා යන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා යන්නේ ඔය අයුරින් ය.

මහණෙනි, රජුගේ හස්තිරාජයා මේ සතර කරුණෙන් යුක්ත වූ විට රජුට යෝග්‍ය වූයේ වෙයි. රජු විසින් පරිහරණය කළ යුතු වූයේ වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට අයත් වෙයි.

එසෙයින් ම මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් අසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනය දේශනා කරන කල්හී එකරුණට මැනැවින් සිත යොමුකොට, මුළු සිත ම එයට යොදවා, යොමු කළ කන් ඇතිව ධර්මය අසන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව අසන්නේ වෙයි.

2. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් නසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නසා දමයි. අභාවයට පත් කරයි. උපන් ව්‍යාපාද විතර්කය ….(පෙ)…. උපන් විහිංසා විතර්කය ….(පෙ)…. උපනූපන් පාපී අකුසල් දහම් නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නසා දමයි. අභාවයට පත් කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව නසන්නේ වෙයි.

3. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් ඉවසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සීතල ත්, උණුසුම ත්, බඩගින්න ත්, පිපාසය ත්, මැසි මදුරු පහස ත්, අව් සුළං ආදිය ත්, සර්පාදීන්ගේ පහස ත් ඉවසන්නේ වෙයි. නපුරු කොට පැවසූ, නපුරු කොට පැමිණි නොයෙක් කියුම් ද, තියුණු වූ කර්කශ වූ කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, මාරාන්තික වූ දුක්ඛිත ශාරීරික වේදනා ඉවසන ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව ඉවසන්නේ වෙයි.

4. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් යන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරෙහි යම් නොගිය දිශාවක් ඇද්ද, එනම් යම් මේ සියළු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියළු කෙලෙසුන්ගේ නැතිවීමක් ඇද්ද, තණ්හාවේ ගෙවීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද එය යි. ඒ නිවන පිහිටි දිශාවට වහා ම යන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව යන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

නාග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M