අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.5. ඨාන සුත්තං

4.3.2.5. කරුණ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ කරුණු සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, කරුණක් තිබෙයි. එය කරන්නට ද කැමැත්තක් නැත. එය කරන කල්හී ද අයහපත පිණිස පවතින්නේ ය.

මහණෙනි, කරුණක් තිබෙයි. එය කරන්නට ද කැමැත්තක් නැත. එය කරන කල්හී යහපත පිණිස පවතින්නේ ය.

මහණෙනි, කරුණක් තිබෙයි. එය කරන්නට ද කැමැත්ත ඇත. එය කරන කල්හී ද අයහපත පිණිස පවතින්නේ ය.

මහණෙනි, කරුණක් තිබෙයි. එය කරන්නට ද කැමැත්ත ඇත. එය කරන කල්හී යහපත පිණිස පවතින්නේ ය.

1. මහණෙනි, එහිලා යම් කරුණක් කරන්නට අකමැති වෙයි ද, එය කරනු ලබන්නේ අයහපත පිණිස පවතියි ද, මහණෙනි, මේ කරුණ දෙපැත්තෙන් ම නොකළ යුතු බව සිතිය යුත්තේ ය. යම් කරුණක් කරන්නට අමනාප ද, මෙයිනුත් ඒ කරුණ නොකළ යුතු බව සිතිය යුත්තේ ය. යම් කරුණක් කරද්දී අයහපත පිණිස පවතියි ද, මෙයිනුත් එය නොකළ යුතු බවට සිතිය යුත්තේ ය. මහණෙනි, මෙකරුණ දෙපැත්තෙන් ම නොකළ යුතු බවට සිතිය යුත්තේ ය.

2. මහණෙනි, එහිලා යම් කරුණක් කරන්නට අකමැති වෙයි ද, එය කරනු ලබන්නේ යහපත පිණිස පවතියි ද, මහණෙනි, මේ කරුණ පිළිබඳ ව පුරුෂයාගේ ඥාන බලයෙහිලා, පුරුෂ වීර්යයෙහිලා, පුරුෂ පරාක්‍රමයෙහිලා බාලයා ත් පණ්ඩිතයා ත් දත යුත්තේ ය. මහණෙනි, ‘මෙකරුණ කරන්නට අමනාප නමුත් එය කරනු ලබන්නේ යහපත පිණිස පවතින්නේ ය’ යි බාලයා මෙසේ නොසිතයි. ඔහු ඒ කරුණ නොකරයි. ඒ කරුණ නොකරන්නා වූ ඔහුට අයහපත පිණිස පවතියි. මහණෙනි, ‘මෙකරුණ කරන්නට අමනාප නමුත් එය කරනු ලබන්නේ යහපත පිණිස පවතින්නේ ය’ යි නුවණැත්තා මෙසේ සිතයි. ඔහු ඒ කරුණ කරයි. ඒ කරුණ කරන්නා වූ ඔහුට යහපත පිණිස පවතියි.

3. මහණෙනි, එහිලා යම් කරුණක් කරන්නට කැමති වෙයි ද, එය කරනු ලබන්නේ අයහපත පිණිස පවතියි ද, මහණෙනි, මේ කරුණ පිළිබඳ ව පුරුෂයාගේ ඥාන බලයෙහිලා, පුරුෂ වීර්යයෙහිලා, පුරුෂ පරාක්‍රමයෙහිලා බාලයා ත් පණ්ඩිතයා ත් දත යුත්තේ ය. මහණෙනි, ‘මෙකරුණ කරන්නට මනාප නමුත් එය කරනු ලබන්නේ අයහපත පිණිස පවතින්නේ ය’ යි බාලයා මෙසේ නොසිතයි. ඔහු ඒ කරුණ කරයි. ඒ කරුණ කරන්නා වූ ඔහුට අයහපත පිණිස පවතියි. මහණෙනි, ‘මෙකරුණ කරන්නට මනාප නමුත් එය කරනු ලබන්නේ අයහපත පිණිස පවතින්නේ ය’ යි නුවණැත්තා මෙසේ සිතයි. ඔහු ඒ කරුණ නොකරයි. ඒ කරුණ නොකරන්නා වූ ඔහුට යහපත පිණිස පවතියි.

4. මහණෙනි, එහිලා යම් කරුණක් කරන්නට කැමැති වෙයි ද, එය කරනු ලබන්නේ යහපත පිණිස පවතියි ද, මහණෙනි, මේ කරුණ දෙපැත්තෙන් ම කළ යුතු බව සිතිය යුත්තේ ය. යම් කරුණක් කරන්නට මනාප ද, මෙයිනුත් ඒ කරුණ කළ යුතු බව සිතිය යුත්තේ ය. යම් කරුණක් කරද්දී යහපත පිණිස පවතියි ද, මෙයිනුත් එය කළ යුතු බවට සිතිය යුත්තේ ය. මහණෙනි, මෙකරුණ දෙපැත්තෙන් ම කළ යුතු බවට සිතිය යුත්තේ ය.

මහණෙනි, මේ වනාහී කරුණු සතර යි.

සාදු! සාදු!! සාදු!!!

ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M