මහණෙනි, සොඳුරු වූ ආජානේය අශ්වයෝ සතර දෙනෙක් ලෝකයේ විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙහි ඡායාව දැක සංවේග වෙයි. සංවේගයට පැමිණෙයි. ‘කිම, අද අශ්වයන් පුහුණු කරන තැනැත්තා මට කවර නම් දඬුවමක් කරාවි ද? කිම, මම කවර නම් දෙයකින් ඔහුගේ වචනය කරන්නෙම් ද?’ කියා ය. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් ඇත්තේ ය. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන පළමුවෙනි ආජානේය අශ්වයා මොහු ය.
2. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙහි ඡායාව දැක සංවේග නොවෙයි. සංවේගයට නොපැමිණෙයි. නමුත් එම කෙවිටෙන් ලෝමයන්ට වදින කල්හී සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. ‘කිම, අද අශ්වයන් පුහුණු කරන තැනැත්තා මට කවර නම් දඬුවමක් කරාවි ද? කිම, මම කවර නම් දෙයකින් ඔහුගේ වචනය කරන්නෙම් ද?’ කියා ය. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් ඇත්තේ ය. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන දෙවෙනි ආජානේය අශ්වයා මොහු ය.
3. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙහි ඡායාව දැක සංවේග නොවෙයි. සංවේගයට නොපැමිණෙයි. එමෙන් ම කෙවිටෙන් ලෝමයන්ට වදින කල්හී ද සංවේග නොවෙයි. සංවේගයට පත් නොවෙයි. වැලිදු කෙවිටි පහරින් සමට වදින කල්හී සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. ‘කිම, අද අශ්වයන් පුහුණු කරන තැනැත්තා මට කවර නම් දඬුවමක් කරාවි ද? කිම, මම කවර නම් දෙයකින් ඔහුගේ වචනය කරන්නෙම් ද?’ කියා ය. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් ඇත්තේ ය. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන තෙවෙනි ආජානේය අශ්වයා මොහු ය.
4. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙහි ඡායාව දැක සංවේග නොවෙයි. සංවේගයට නොපැමිණෙයි. එමෙන් ම කෙවිටෙන් ලෝමයන්ට වදින කල්හී ද සංවේග නොවෙයි. සංවේගයට පත් නොවෙයි. එමෙන් ම කෙවිටි පහරින් සමට වදින කල්හී ද සංවේග නොවෙයි. සංවේගයට පත් නොවෙයි. කෙවිටි පහරින් ඇට වලට ද රිදෙන්නට වැදුණු කල්හී සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. ‘කිම, අද අශ්වයන් පුහුණු කරන තැනැත්තා මට කවර නම් දඬුවමක් කරාවි ද? කිම, මම කවර නම් දෙයකින් ඔහුගේ වචනය කරන්නෙම් ද?’ කියා ය. මහණෙනි, මෙබඳු ස්වභාව ඇති ඇතැම් සොඳුරු ආජානේය අශ්වයෙක් ඇත්තේ ය. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන සිව්වෙනි ආජානේය අශ්වයා මොහු ය.
මහණෙනි, මේ සොඳුරු වූ ආජානේය අශ්වයෝ සතර දෙනා ලෝකයේ විද්‍යමාන ව සිටිති.
මේ අයුරින් ම මහණෙනි, සොඳුරු වූ ආජානේය පුරුෂයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් සොඳුරු වූ ආජානේය පුරුෂයෙක් මෙය අසයි. එනම් ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ දුකට පත් වූයේ වෙයි. කළුරිය කළේ වෙයි’ යන කරුණ යි. එවිට එය අසා හේ සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. සංවේග වූයේ නුවණ යොදා වීරිය කරයි. කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වෙර වඩන්නේ පරම සත්‍යය කයෙනුත් සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් විනිවිද දකියි. මහණෙනි, යම් සේ ඒ සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙහි ඡායාව දැක සංවේග වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, මහණෙනි, මෙම භද්‍ර වූ ආජානේය පුරුෂයා එබඳු අශ්වයා උපමා කොට පවසමි. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන පළමුවෙනි සොඳුරු ආජානේය පුරුෂයා මොහු ය.
2. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු වූ ආජානේය පුරුෂයෙක් ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ දුකට පත් වූයේ වෙයි. කළුරිය කළේ වෙයි’ යන කරුණ නොඇසුවේ වෙයි. එනමුදු දුකට පත් වූ හෝ කළුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ තෙමේ ම දකින්නේ වෙයි. එවිට එය තුළින් හේ සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. සංවේග වූයේ නුවණ යොදා වීරිය කරයි. කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වෙර වඩන්නේ පරම සත්‍යය කයෙනුත් සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් විනිවිද දකියි. මහණෙනි, යම් සේ ඒ සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙන් ලෝමයන්ට පහර වැද සංවේග වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, මහණෙනි, මෙම භද්‍ර වූ ආජානේය පුරුෂයා එබඳු අශ්වයා උපමා කොට පවසමි. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන දෙවෙනි සොඳුරු ආජානේය පුරුෂයා මොහුය.
3. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු වූ ආජානේය පුරුෂයෙක් ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ දුකට පත් වූයේ වෙයි. කළුරිය කළේ වෙයි’ යන කරුණ නොඇසුවේ වෙයි. එමෙන් ම දුකට පත් වූ හෝ කළුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ තෙමේ ම නොදකින්නේ ද වෙයි. එනමුදු තමන්ගේ ඥාතියෙකු හෝ ලේ ඥාතියෙකු හෝ දුකට පත්වූයේ වෙයි. කළුරිය කළේ වෙයි. එවිට ඒ තුළින් හේ සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. සංවේග වූයේ නුවණ යොදා වීරිය කරයි. කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වෙර වඩන්නේ පරම සත්‍යය කයෙනුත් සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් විනිවිද දකියි. මහණෙනි, යම් සේ ඒ සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙන් සමට පහර වැද සංවේග වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, මහණෙනි, මෙම භද්‍ර වූ ආජානේය පුරුෂයා එබඳු අශ්වයා උපමා කොට පවසමි. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන තෙවෙනි සොඳුරු ආජානේය පුරුෂයා මොහු ය.
4. තව ද මහණෙනි, ඇතැම් සොඳුරු වූ ආජානේය පුරුෂයෙක් ‘අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ දුකට පත් වූයේ වෙයි. කළුරිය කළේ වෙයි’ යන කරුණ නොඇසුවේ වෙයි. එමෙන් ම දුකට පත් වූ හෝ කළුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ තෙමේ ම නොදකින්නේ ද වෙයි. එමෙන් ම තමන්ගේ ඥාතියෙකු හෝ ලේ ඥාතියෙකු හෝ දුකට පත් නොවූයේ වෙයි. කළුරිය නොකළේ වෙයි. එනමුදු තමන් ම දරුණු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ප්‍රාණය නැතිවන තරමේ දුක්ඛිත වූ ශාරීරික වේදනාවකින් රිදුම් කන්නේ වෙයි. එවිට ඒ තුළින් හේ සංවේග වෙයි. සංවේගයට පත්වෙයි. සංවේග වූයේ නුවණ යොදා වීරිය කරයි. කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වෙර වඩන්නේ පරම සත්‍යය කයෙනුත් සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් විනිවිද දකියි. මහණෙනි, යම් සේ ඒ සොඳුරු ආජානේය අශ්වයෙක් කෙවිටෙන් ඇටවලට රිදෙන්නට පහර වැද සංවේග වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, මහණෙනි, මෙම භද්‍ර වූ ආජානේය පුරුෂයා එබඳු අශ්වයා උපමා කොට පවසමි. මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන සිව්වෙනි සොඳුරු ආජානේය පුරුෂයා මොහු ය.
මහණෙනි, මේ සොඳුරු වූ ආජානේය පුරුෂයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
අස්සාජානීය – පතෝද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M