අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.9. රුක්ඛ සුත්තං

4.3.1.9. ගස උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, ගස් සතරකි. ඒ කවර සතරක් ද යත්;

නිසරු ගස් පිරිවර කොට ඇති නිසරු ගසකි. සරු ගස් පිරිවර කොට ඇති නිසරු ගසකි. නිසරු ගස් පිරිවර කොට ඇති සරු ගසකි. සරු ගස් පිරිවර කොට ඇති සරු ගසකි. මහණෙනි, මේ වනාහී සිව්වැදෑරුම් වෘක්ෂයෝ ය.

මහණෙනි, මේ අයුරින් ම ගස උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

නිසරු ගස් පිරිවර කොට ඇති නිසරු ගස බඳු පුද්ගලයා ය. සරු ගස් පිරිවර කොට ඇති නිසරු ගස බඳු පුද්ගලයා ය. නිසරු ගස් පිරිවර කොට ඇති සරු ගස බඳු පුද්ගලයා ය. සරු ගස් පිරිවර කොට ඇති සරු ගස බඳු පුද්ගලයා ය.

1. මහණෙනි, පුද්ගලයෙක් නිසරු ගස් පිරිවර කොට ඇති නිසරු ගස බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. පවිටු ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස ද දුස්සීල වෙයි. පාපී ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් නිසරු වූයේ නිසරු පිරිවර සහිත වූයේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ගසක් නිසරු වූයේ ද, නිසරු ගස් පිරිවර කොට ගත්තේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු වූ ගසට උපමා කොට කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් සරු ගස් පිරිවර කොට ඇති නිසරු ගස බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. පවිටු ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් නිසරු වූයේ සරු පිරිවර සහිත වූයේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ගසක් නිසරු වූයේ ද, සරු ගස් පිරිවර කොට ගත්තේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු වූ ගසට උපමා කොට කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් නිසරු ගස් පිරිවර කොට ඇති සරු ගස බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයෙන් යුක්ත වෙයි. එනමුදු ඔහුගේ පිරිස දුස්සීල වෙයි. පාපී ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් සරු වූයේ නිසරු පිරිවර සහිත වූයේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ගසක් සරු වූයේ ද, නිසරු ගස් පිරිවර කොට ගත්තේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු වූ ගසට උපමා කොට කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් සරු ගස් පිරිවර කොට ඇති සරු ගස බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් සරු වූයේ සරු පිරිවර සහිත වූයේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ගසක් සරු වූයේ ද, සරු ගස් පිරිවර කොට ගත්තේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු වූ ගසට උපමා කොට කියමි.

මහණෙනි, මේ අයුරින් ගස උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

රුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M