අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.10. ආසිවිස සුත්තං

4.3.1.10. ඝෝර විෂ උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, ඝෝර විෂ සතරකි. ඒ කවර සතරක් ද යත්;

ශරීරයට ඇතුළු වූ විට විෂ ඇති නමුත් ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ වෙයි. විෂ බොහෝ කල් පවතින නමුත්, ශරීරයට ඇතුළු වූ විට විෂ නැත්තේ වෙයි. ශරීරයට ඇතුළු වූ විට ත් විෂ ඇත්තේ වෙයි, ඒ විෂ බොහෝ කල් පවතින්නේ ද වෙයි. ශරීරයට ඇතුළු වූ විට ත් විෂ නැත්තේ වෙයි, ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ ද වෙයි. මහණෙනි. මේ වනාහී ඝෝර විෂ සතර යි.

මහණෙනි, මේ අයුරින් ම ඝෝර විෂ උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ශරීරයට ඇතුළු වූ විට විෂ ඇති නමුත් ඒ විෂ බොහෝ කල් නොපවතින පුද්ගලයා ය. විෂ බොහෝ කල් පවතින නමුත්, ශරීරයට ඇතුළු වූ විට විෂ නැති පුද්ගලයා ය. ශරීරයට ඇතුළු වූ විට ත් විෂ ඇත්තේ වෙයි ද, ඒ විෂ බොහෝ කල් පවතින්නේ ද එබඳු පුද්ගලයා ය. ශරීරයට ඇතුළු වූ විට ත් විෂ නැත්තේ ද, ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ ද එබඳු පුද්ගලයා ය.

1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ශරීරයට ඇතුළු වූ විට විෂ ඇති නමුත් ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙන්නේ වෙයි. එනමුදු ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා නොඑයි. මහණෙනි, මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විෂ ඇති නමුත් ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ඝෝර විෂ සිරුරට පැමිණෙන්නේ නමුත් බොහෝ කල් නොපවතින්නේ වෙයි ද, මම මේ පුද්ගලයා මෙබඳු විෂට උපමා කොට කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ශරීරයට ඇතුළු වූ විට විෂ නැති නමුත් ඒ විෂ බොහෝ කල් පවතින්නේ බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර නොකිපෙන්නේ වෙයි. එනමුදු කිපුණු කල්හී ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා එයි. මහණෙනි, මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විෂ නැති නමුත් ඒ විෂ බොහෝ කල් පවතින්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ඝෝර විෂ සිරුරට නොපැමිණෙන්නේ නමුත් බොහෝ කල් පවතින්නේ වෙයි ද, මම මේ පුද්ගලයා මෙබඳු විෂට උපමා කොට කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ශරීරයට ඇතුළු වූ විට විෂ ඇත්තේ ත්, ඒ විෂ බොහෝ කල් පවතින්නේ ත් බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙන්නේ වෙයි. එසේ ම ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා එයි. මහණෙනි, මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විෂ ඇත්තේ, ඒ විෂ බොහෝ කල් පවතින්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ඝෝර විෂ සිරුරට පැමිණෙන්නේ ත්, බොහෝ කල් පවතින්නේ ත් වෙයි ද, මම මේ පුද්ගලයා මෙබඳු විෂට උපමා කොට කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ශරීරයට ඇතුළු වූ විට විෂ නැත්තේ ත්, ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ ත් බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙන්නේ නොවෙයි. එසේ ම ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා නොඑයි. මහණෙනි, මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විෂ නැත්තේ, ඒ විෂ බොහෝ කල් නොපවතින්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ ඝෝර විෂ සිරුරට නොපැමිණෙන්නේ ත්, බොහෝ කල් නොපවතින්නේ ත් වෙයි ද, මම මේ පුද්ගලයා මෙබඳු විෂට උපමා කොට කියමි.

මහණෙනි, මේ ඝෝර විෂ බඳු පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

ආසිවිස සූත්‍රය නිමා විය.

පළමුවෙනි වළාහක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

වළාහක සූත්‍ර දෙක, කුම්භ සූත්‍රය, උදකරහද සූත්‍රය, අම්බ සූත්‍රය, මූසිකා සූත්‍රය, රුක්ඛ සූත්‍රය, බලිවද්ද සූත්‍රය සහ ආසිවිස සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M