මහණෙනි, ගවයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;
තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නමුත් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නැත. අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නමුත් තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නැත. තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ වූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ වූයේ වෙයි. තම ගවයන්ට ත් සැඩපරුෂ නොවූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ නොවූයේ වෙයි. මහණෙනි, මේ වනාහී ගවයෝ සතර දෙනා ය.
මහණෙනි, මේ අයුරින් ම ගවයන් උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නමුත් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු පුද්ගලයා ය. අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නමුත් තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු පුද්ගලයා ය. තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ වූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ වූ ගවයා බඳු පුද්ගලයා ය. තම ගවයන්ට ත් සැඩපරුෂ නොවූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ නොවූ ගවයා බඳු පුද්ගලයා ය.
1. මහණෙනි, පුද්ගලයෙකු කෙසේ නම් තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නමුත් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තම පිරිස බියට පත් කරන්නේ වෙයි. අන්‍ය පිරිසට එසේ නොකරයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නමුත් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ගවයා සිය ගවයන්ට සැඩපරුෂ වූයේ අන්‍ය ගවයන්ට සැඩපරුෂ නොවූයේ වෙයි ද, මහණෙනි, මේ පුද්ගලයා මෙබඳු වූ දෙයකට උපමා කොට කියමි.
2. මහණෙනි, පුද්ගලයෙකු කෙසේ නම් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නමුත් තමන්ගේ ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අන්‍ය පිරිස බියට පත් කරන්නේ වෙයි. තම පිරිසට එසේ නොකරයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් අන්‍ය වූ ගවයන් හට සැඩපරුෂ නමුත් තම ගවයන් හට සැඩපරුෂ නැති ගවයා බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ගවයා අන්‍ය ගවයන්ට සැඩපරුෂ වූයේ තම ගවයන්ට සැඩපරුෂ නොවූයේ වෙයි ද, මහණෙනි, මේ පුද්ගලයා මෙබඳු වූ දෙයකට උපමා කොට කියමි.
3. මහණෙනි, පුද්ගලයෙකු කෙසේ නම් තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ වූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ වූ ගවයා බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තම පිරිස ත් බියට පත් කරන්නේ වෙයි. අන්‍ය පිරිසට ත් එසේ කරයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ වූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ වූ ගවයා බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ගවයා තම ගවයන්ට සැඩපරුෂ වූයේ ත් අන්‍ය ගවයන්ට සැඩපරුෂ වූයේ ත් වෙයි ද, මහණෙනි, මේ පුද්ගලයා මෙබඳු වූ දෙයකට උපමා කොට කියමි.
4. මහණෙනි, පුද්ගලයෙකු කෙසේ නම් තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ නොවූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ නොවූ ගවයා බඳු වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තම පිරිස ත් බියට පත් නොකරන්නේ වෙයි. අන්‍ය පිරිසට ත් එසේ නොකරයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් තමන්ගේ ගවයන්ට ත් සැඩපරුෂ නොවූයේ අන්‍ය වූ ගවයන් හට ත් සැඩපරුෂ නොවූ ගවයා බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ගවයා තම ගවයන්ට සැඩපරුෂ නොවූයේ ත් අන්‍ය ගවයන්ට සැඩපරුෂ නොවූයේ ත් වෙයි ද, මහණෙනි, මේ පුද්ගලයා මෙබඳු වූ දෙයකට උපමා කොට කියමි.
මහණෙනි, මේ අයුරින් ගවයා උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
බලිවද්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M