අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.7. මූසිකා සුත්තං

4.3.1.7. මූසිකාව (මීයාගේ ගැහැණු සතා) උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, මේ ගැහැණු මීයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ගුල සාරන්නී නමුත් එහි නොවසන්නී ය. වසන්නී නමුත් ගුල නොසාරන්නී ය. ගුල නොසාරන්නී ම නොවසන්නී ද වෙයි. ගුල සාරන්නී ත් වෙයි, වසන්නී ත් වෙයි. මහණෙනි, මේ වනාහී ගැහැණු මීයන් සතර දෙනා ය.

මහණෙනි, මේ අයුරින් මේ මූසිකාවන් සිව් දෙනා උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ගුල සාරන්නේ නමුත් එහි නොවසන්නේ ය. වසන්නේ නමුත් ගුල නොසාරන්නේ ය. ගුල නොසාරන්නේ ම නොවසන්නේ ද වෙයි. ගුල සාරන්නේ ත් වෙයි, වසන්නේ ත් වෙයි.

1. මහණෙනි, පුද්ගලයෙක් ගුල සාරන්නේ නමුත් එහි නොවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ කරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් හදාරයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගුල සාරන්නේ නමුත් එහි නොවසන්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ මූසිකාව ගුල සාරන්නී නමුත් නොවසන්නී වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් වසන්නේ නමුත් ගුල නොසාරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ නොකරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් නොහදාරයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා වසන්නේ නමුත් ගුල නොසාරන්නේ වෙයි. මහණෙනි, යම් සේ ඒ මූසිකාව වසන්නී නමුත් ගුල නොසාරන්නී වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගුල නොසාරන්නේ ම නොවසන්නේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ නොකරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් නොහදාරයි. එසෙයින් ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගුල නොසාරන්නේ ම නොවසන්නේ ද වෙයි. මහණෙනි, යම් සේ ඒ මූසිකාව ගුල නොසාරන්නී ම නොවසන්නී ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගුල සාරන්නේ ත් වෙයි ද, වසන්නේ ත් වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ කරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් හදාරයි. එසේ ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගුල සාරන්නේ ත් වෙයි, වසන්නේ ත් වෙයි. මහණෙනි, යම් සේ ඒ මූසිකාව ගුල සාරන්නී ත් වෙයි, වසන්නී ත් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

මහණෙනි, මේ අයුරින් මේ මූසිකාවන් සතර දෙනෙකු උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

මූසිකා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M