අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.4. උදකරහද සුත්තං

4.3.1.4. දිය විල උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, දිය විල් සතරකි. ඒ කවර සතරක් ද යත්;

නොගැඹුරු වූ එහෙත් ගැඹුරු සේ පෙනෙන දිය විලකි. ගැඹුරු වූ නමුත් නොගැඹුරු සේ පෙනෙන දිය විලකි. නොගැඹුරු වූයේ ම නොගැඹුරු ලෙසින් ම පෙනෙන දිය විලකි. ගැඹුරු වූයේ ගැඹුරු සේ පෙනෙන දිය විලකි. මහණෙනි, මේ වනාහී දිය විල් සතර යි.

මහණෙනි, මේ අයුරින් ම දිය විල උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

නොගැඹුරු වූ එහෙත් ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු පුද්ගලයා ය. ගැඹුරු වූ නමුත් නොගැඹුරු සේ පෙනෙන දිය විල බඳු පුද්ගලයා ය.

නොගැඹුරු වූයේ ම නොගැඹුරු ලෙසින් ම පෙනෙන දිය විල බඳු පුද්ගලයා ය. ගැඹුරු වූයේ ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු පුද්ගලයා ය.

1. මහණෙනි, පුද්ගලයෙක් නොගැඹුරු වූ එහෙත් ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් නොගැඹුරු වූ එහෙත් ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ නොගැඹුරු වූ එහෙත් ගැඹුරු සේ පෙනෙන දිය විලක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් ගැඹුරු වූ නමුත් නොගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ගැඹුරු වූ නමුත් නොගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ගැඹුරු වූ නමුත් නොගැඹුරු සේ පෙනෙන දිය විලක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් නොගැඹුරු වූයේ ම නොගැඹුරු ලෙසින් ම පෙනෙන දිය විල බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එමෙන් ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක්

නොගැඹුරු වූයේ ම නොගැඹුරු ලෙසින් ම පෙනෙන දිය විල බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ නොගැඹුරු වූයේ ම නොගැඹුරු ලෙසින් ම පෙනෙන දිය විලක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් ගැඹුරු වූයේ ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එසේ ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ගැඹුරු වූයේ ගැඹුරු සේ පෙනෙන දිය විල බඳු වෙයි. මහණෙනි, යම් සේ ගැඹුරු වූයේ ගැඹුරු සේ පෙනෙන දිය විලක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

මහණෙනි, මේ අයුරින් දිය විල උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

උදකරහද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M