අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.5. අම්බ සුත්තං

4.3.1.5. අඹ උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, අඹගෙඩි සතරකි. ඒ කවර සතරක් ද යත්;

ඉදුණු සේ පෙනෙන අමු අඹ ගෙඩියකි. ඉදී තිබෙන නමුත් අමු සේ පෙනෙන අඹ ගෙඩියකි. අමු වූයේ ම අමු සේ පෙනෙන අඹ ගෙඩියකි. ඉදුණේ ම ඉදුණු සේ පෙනෙන අඹ ගෙඩියකි. මහණෙනි, මේ වනාහී අඹගෙඩි සතර යි.

මහණෙනි, මේ අයුරින් ම අඹගෙඩි උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ඉදුණු සේ පෙනෙන අමු අඹ ගෙඩිය බඳු පුද්ගලයා ය. ඉදී තිබෙන නමුත් අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු පුද්ගලයා ය. අමු වූයේ ම අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු පුද්ගලයා ය. ඉදුණේ ම ඉදුණු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු පුද්ගලයා ය.

1. මහණෙනි, පුද්ගලයෙක් ඉදුණු සේ පෙනෙන අමු අඹ ගෙඩිය බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඉදුණු සේ පෙනෙන අමු අඹ ගෙඩිය බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ඉදුණු සේ පෙනෙන අමු අඹ ගෙඩියක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් ඉදී තිබෙන නමුත් අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඉදී තිබෙන නමුත් අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ ඉදී තිබෙන නමුත් අමු සේ පෙනෙන අඹ ගෙඩියක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් අමු වූයේ ම අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එමෙන් ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් අමු වූයේ ම අමු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ අමු වූයේ ම අමු සේ පෙනෙන අඹ ගෙඩියක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් ඉදුණේ ම ඉදුණු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එසේ ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඉදුණේ ම ඉදුණු සේ පෙනෙන අඹ ගෙඩිය බඳු වෙයි. මහණෙනි, යම් සේ ඉදුණේ ම ඉදුණු සේ පෙනෙන අඹ ගෙඩියක් වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.

මහණෙනි, මේ අයුරින් අඹගෙඩි උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

අම්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M