මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි. අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි, අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි. තමාට හිත පිණිස ත් අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි.
1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කුසලධර්මයන් පිළිබඳ ව වහා වටහා ගැනීමට සමත් වෙයි. ඇසූ ධර්මයන් මතකයෙහි දරණ ස්වභාවය ද ඇත්තේ වෙයි. මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ ද වෙයි. එනමුදු හේ කල්‍යාණ වචන නැත්තේ වෙයි. කල්‍යාණ වචන ව්‍යවහාරය, වැදගත් වචන භාවිතය, නොවිසුරුණු වචන ඇති බව, කෙළතොළු වචන නැති බව, අරුත් ඉස්මතු කරවන වචන ඇති බව නැත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කරුණු නොදක්වන්නේ වෙයි. සමාදන් නොකරවන්නේ වෙයි. උත්සාහවත් නොකරවන්නේ වෙයි. නොපහදවන්නේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, තමාට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කුසලධර්මයන් පිළිබඳ ව වහා වටහා ගැනීමට සමත් නොවෙයි. ඇසූ ධර්මයන් මතකයෙහි දරණ ස්වභාවය ද ඇත්තේ නොවෙයි. මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්නේ ද නොවෙයි. අර්ථ දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ ද නොවෙයි. එනමුදු හේ කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වචන ව්‍යවහාරය, වැදගත් වචන භාවිතය, නොවිසුරුණු වචන ඇති බව, කෙළතොළු වචන නැති බව, අරුත් ඉස්මතු කරවන වචන ඇති බව ඇත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කරුණු දක්වන්නේ වෙයි. සමාදන් කරවන්නේ වෙයි. උත්සාහවත් කරවන්නේ වෙයි. පහදවන්නේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, තමාට හිත පිණිස නොවෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ නොවෙයි ද, අනුන්ට ත් හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කුසලධර්මයන් පිළිබඳ ව වහා වටහා ගැනීමට සමත් නොවෙයි. ඇසූ ධර්මයන් මතකයෙහි දරණ ස්වභාවය ද ඇත්තේ නොවෙයි. මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්නේ ද නොවෙයි. අර්ථ දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ ද නොවෙයි. එසෙයින්ම හේ කල්‍යාණ වචන නැත්තේ වෙයි. කල්‍යාණ වචන ව්‍යවහාරය, වැදගත් වචන භාවිතය, නොවිසුරුණු වචන ඇති බව, කෙළතොළු වචන නැති බව, අරුත් ඉස්මතු කරවන වචන ඇති බව නැත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කරුණු නොදක්වන්නේ වෙයි. සමාදන් නොකරවන්නේ වෙයි. උත්සාහවත් නොකරවන්නේ වෙයි. නොපහදවන්නේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට ත් හිත පිණිස පිළිපන්නේ නොවෙයි, අනුන්ට ත් හිත පිණිස නොවෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට ත් හිත පිණිස වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කුසලධර්මයන් පිළිබඳ ව වහා වටහා ගැනීමට සමත් වෙයි. ඇසූ ධර්මයන් මතකයෙහි දරණ ස්වභාවය ද ඇත්තේ වෙයි. මතකයෙහි රඳවා ගත් ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ ද වෙයි. එසෙයින් ම හේ කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වචන ව්‍යවහාරය, වැදගත් වචන භාවිතය, නොවිසුරුණු වචන ඇති බව, කෙළතොළු වචන නැති බව, අරුත් ඉස්මතු කරවන වචන ඇති බව ඇත්තේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කරුණු දක්වන්නේ වෙයි. සමාදන් කරවන්නේ වෙයි. උත්සාහවත් කරවන්නේ වෙයි. පහදවන්නේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට ත් හිත පිණිස වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
ඛිප්පනිසන්ති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M