අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.5.6. රාගවිනය සුත්තං

4.2.5.6. රාගය දුරුකිරීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි. අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි, අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි. තමාට හිත පිණිස ත් අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි.

1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. එනමුදු අන්‍යයන් රාගය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. තමා ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. එනමුදු අන්‍යයන් ද්වේෂය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. තමා මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. එනමුදු අන්‍යයන් මෝහය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි.

2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, තමාට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. එනමුදු අන්‍යයන් රාගය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. තමා ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. එනමුදු අන්‍යයන් ද්වේෂය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. තමා මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. එනමුදු අන්‍යයන් මෝහය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, තමාට හිත පිණිස නොවෙයි.

3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ නොවෙයි ද, අනුන්ට ත් හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. අන්‍යයන් රාගය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. තමා ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. අන්‍යයන් ද්වේෂය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. තමා මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නේ නොවෙයි. අන්‍යයන් මෝහය දුරු කිරීම පිණිස සමාදන් නොකරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට හිත පිණිස පිළිපන්නේ නොවෙයි, අනුන්ට ත් හිත පිණිස නොවෙයි.

4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට ත් හිත පිණිස වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ත් රාගය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. අන්‍යයන් ද රාගය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් ද්වේෂය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. අන්‍යයන් ද ද්වේෂය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් මෝහය දුරුකිරීම පිණිස පිළිපන්නේ වෙයි. අන්‍යයන් ද මෝහය දුරු කිරීම පිණිස සමාදන් කරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට ත් හිත පිණිස වෙයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

රාගවිනය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M