අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.5.5. ඡවාලාත සුත්තං

4.2.5.5. සොහොන් පෙණෙල්ල උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

තමාට හිත පිණිස හෝ අනුන්ට හිත පිණිස හෝ පිළිපන්නේ නොවෙයි. අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් අනුන්ට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස ත් අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි.

1. මහණෙනි, එය මෙබඳු දෙයකි. දෙපස ඇවිලගත් මැද මළමුත්‍රා වැකුණු සොහොන් පෙණෙල්ලක් ඇද්ද, එය ගමෙහි දර වලින් කළ යුතු දේ නොකරයි. වනයෙහි දර වලින් කළ යුතු දේ ද නොකරයි. මහණෙනි, යම් මේ පුද්ගලයෙක් තමාට හිත පිණිස හෝ අනුන්ට හිත පිණිස හෝ පිළිපන්නේ නොවෙයි ද, මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා කොට මම කියමි.

2. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි ද, මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් මොහු සුන්දරතර වෙයි. උසස් වෙයි.

3. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් අනුන්ට හිත පිණිස නොවෙයි ද, මේ පුද්ගලයන් තිදෙනා අතුරෙන් මොහු සුන්දරතර වෙයි. උසස් වෙයි.

4. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට ත් හිත පිණිස වෙයි ද, මේ පුද්ගලයන් සිව්දෙනා අතුරෙන් මොහු අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රමුඛ ද, උත්තම ද, වඩාත් උත්තම ද වෙයි. මහණෙනි, එය මෙබඳු දෙයකි. ගවදෙනගෙන් කිරි ද, කිරෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුවෙන් ගිතෙල් ද, ගිතෙලෙන් ගී මණ්ඩි ද ගන්නේ වෙයි නම් එහිලා අග්‍ර යැයි කියනු ලබන්නේ ගී මණ්ඩි ය. එසෙයින් ම මහණෙනි, යම් මේ පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට ත් හිත පිණිස වෙයි ද, මේ පුද්ගලයන් සිව්දෙනා අතුරෙන් මොහු අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රමුඛ ද, උත්තම ද, වඩාත් උත්තම ද වෙයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

ඡවාලාත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M