මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි. එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද නොලබන්නේ වෙයි.
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද ලබන්නේ වෙයි.
1. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි ද, එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවෙන් යුක්ත වූයේ වෙයි ද, ඔහු වෙත පැමිණ මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, සංස්කාරයන් දැක්ක යුත්තේ කෙසේ ද? සංස්කාරයන් පිළිබඳ ව නුවණින් විමසිය යුත්තේ කෙසේ ද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේ ද?’ එවිට හේ දකින ලද්දේ යම් අයුරකින් ද, තමන්ට ප්‍රකට වූයේ යම් අයුරකින් ද එය ඔහුට පවසයි. ‘ආයුෂ්මත, සංස්කාරයන් දැක්ක යුත්තේ මේ අයුරිනි. සංස්කාරයන් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ මේ අයුරිනි’ වශයෙනි. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද වනු ඇත.
2. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි ද, එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධියෙන් යුක්ත වූයේ වෙයි ද, ඔහු වෙත පැමිණ මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, සිත පිහිටුවා ගත යුත්තේ කෙසේ ද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේ ද? සිත එක අරමුණකට ගත යුත්තේ කෙසේ ද? සිත අරමුණෙහි තැන්පත් කරගත යුත්තේ කෙසේ ද?’ වශයෙනි. එවිට හේ දකින ලද්දේ යම් අයුරකින් ද, තමන්ට ප්‍රකට වූයේ යම් අයුරකින් ද එය ඔහුට පවසයි. ‘ආයුෂ්මත, සිත පිහිටුවා ගත යුත්තේ මෙසේ ය. සිත සංසිඳුවා ගත යුත්තේ මෙසේ ය. සිත එක අරමුණකට ගත යුත්තේ මෙසේ ය. සිත අරමුණෙහි තැන්පත් කරගත යුත්තේ මෙසේ ය’ වශයෙනි. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද වනු ඇත.
3. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධියෙන් යුක්ත වූයේ වෙයි ද, යම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවෙන් යුක්ත වූයේ වෙයි ද, ඔහු වෙත පැමිණ මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, සිත පිහිටුවා ගත යුත්තේ කෙසේ ද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේ ද? සිත එක අරමුණකට ගත යුත්තේ කෙසේ ද? සිත අරමුණෙහි තැන්පත් කරගත යුත්තේ කෙසේ ද? සංස්කාරයන් දැක්ක යුත්තේ කෙසේ ද? සංස්කාරයන් පිළිබඳ ව නුවණින් විමසිය යුත්තේ කෙසේ ද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේ ද?’ වශයෙනි. එවිට හේ දකින ලද්දේ යම් අයුරකින් ද, තමන්ට ප්‍රකට වූයේ යම් අයුරකින් ද එය ඔහුට පවසයි. ‘ආයුෂ්මත, සිත පිහිටුවා ගත යුත්තේ මෙසේ ය. සිත සංසිඳුවා ගත යුත්තේ මෙසේ ය. සිත එක අරමුණකට ගත යුත්තේ මෙසේ ය. සිත අරමුණෙහි තැන්පත් කරගත යුත්තේ මෙසේ ය. සංස්කාරයන් දැක්ක යුත්තේ මේ අයුරිනි. සංස්කාරයන් නුවණින් විමසිය යුත්තේ මේ අයුරිනි. සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ මේ අයුරිනි’ වශයෙනි. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද වනු ඇත.
4. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද ලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල ධර්මයන් තුළ පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස එය දියුණු කිරීමට උත්සාහ කළ යුත්තේ ය.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
තතිය සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M