අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.5.3. දුතිය සමාධි සුත්තං

4.2.5.3. සමාධිය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි. එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද නොලබන්නේ වෙයි.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද ලබන්නේ වෙයි.

1. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි ද, එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ වූ චිත්ත සමාධියෙහි පිහිටා ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව පිණිස උත්සාහවත් විය යුත්තේ ය. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද වනු ඇත.

2. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි ද, එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ වූ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවෙහි පිහිටා චිත්ත සමාධිය පිණිස උත්සාහවත් විය යුත්තේ ය. හේ පසු කලක ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද, තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද වනු ඇත.

3. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද නොලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල ධර්මයන් ම උපදවා ගැනීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. ඇඳිවත ගිනිගත්තෙකු හෝ හිස ගිනිගත්තෙකු හෝ ඒ ඇඳිවත වේවා හිස වේවා නිවා දැමීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇතිකරගන්නේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල ධර්මයන් ම උපදවා ගැනීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබනසුළු වූයේ ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනසුළු වූයේ ද වනු ඇත.

4. මහණෙනි, එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි ද, ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද ලබන්නේ වෙයි ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල ධර්මයන් තුළ පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස එය දියුණු කිරීමට උත්සාහ කළ යුත්තේ ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M