මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
ශ්‍රමණ අචල ය. ශ්‍රමණ පුණ්ඩරීක ය. ශ්‍රමණ පදුම ය. ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල ය.
1. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ අචල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සේඛ වූයේ වෙයි. අනුත්තර වූ නිවන පතමින් ප්‍රතිපදාවෙහි හික්මෙමින් වාසය කරයි. මහණෙනි, එය මෙබඳු දෙයකි. ඔටුණු පළන් රජෙකුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක් සිටියි. හේ ඔටුණු පළඳින්නට සුදුසු වූයේ වෙයි. එහෙත් ඔටුණු නොපැළැන්දේ වෙයි. ස්ථිර ව ම ඔටුණු පළඳින්නේ වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම භික්ෂුව සම්පූර්ණ නොකරන ලද ශික්ෂාව ඇත්තේ වෙයි. අනුත්තර යෝගක්ඛේමය නම් වූ නිවන පතමින් ප්‍රතිපදාවෙහි හික්මෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ නොසැලෙන ශ්‍රමණයෙක් බවට පත්වූයේ වෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පුණ්ඩරීක වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීම, අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට ඥානයෙන් පසක් කොට සමවැදී වාසය කරයි. එනමුදු අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ නොකොට වසන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ ශ්‍රමණ පුණ්ඩරීක වෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පදුම වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීම, අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට ඥානයෙන් පසක් කොට සමවැදී වාසය කරයි. එමෙන් ම අෂ්ට විමෝක්ෂයන් ද කයින් ස්පර්ශ කොට වසන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ ශ්‍රමණ පදුම වෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ සිවුරු පරිහරණය කරයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ පිණ්ඩපාතය වළඳයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ කුටි සෙනසුන් පරිහරණය කරයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිහරණය කරයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි.
යම් සබ්‍රහ්මචාරීන් පිරිසක් වාසය කරයි නම්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ භික්ෂුවගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් කායික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ භික්ෂුවගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් වාචසික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ භික්ෂුවගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් මානසික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි.
පිතෙන් හටගන්නා වූ හෝ සෙමෙන් හටගන්නා වූ හෝ වාතයෙන් හටගන්නා වූ හෝ තුන් දොස් එකතු වීමෙන් හටගන්නා හෝ ඍතු විපර්යාසයෙන් හටගන්නා හෝ විෂම පරිහරණයෙන් හටගන්නා වූ හෝ උපක්‍රමයෙන් හටගන්නා වූ හෝ කර්ම විපාකයෙන් හටගන්නා වූ හෝ යම් වේදනාවන් ඇද්ද, ඒ භික්ෂුවට ඒ වේදනාවන් බොහෝ අයුරින් නූපදිති. අල්පාබාධ ඇත්තේ වෙයි.
අධිචිත්තයෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. විපුල කොට ලබන්නේ වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොවදී ම ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙමේ ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වෙයි.
මහණෙනි, ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි යමෙකු අරභයා මැනැවින් පවසන්නේ නම් මහණෙනි, ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි මැනැවින් පැවසිය යුත්තේ මා උදෙසා ම ය.
මහණෙනි, මම දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ සිවුරු පරිහරණය කරමි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ පිණ්ඩපාතය වළඳමි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ කුටි සෙනසුන් පරිහරණය කරමි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිහරණය කරමි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි.
යම් සබ්‍රහ්මචාරීන් පිරිසක් වාසය කරයි නම්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ මාගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් කායික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ මාගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් වාචසික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි. ඒ මාගේ සිත පැහැදෙන අයුරින් බහුල වශයෙන් මානසික ක්‍රියා පවත්වති. අපැහැදෙන අයුරු ඇත්තේ ස්වල්ප වශයෙනි.
පිතෙන් හටගන්නා වූ හෝ සෙමෙන් හටගන්නා වූ හෝ වාතයෙන් හටගන්නා වූ හෝ තුන් දොස් එකතු වීමෙන් හටගන්නා හෝ ඍතු විපර්යාසයෙන් හටගන්නා හෝ විෂම පරිහරණයෙන් හටගන්නා වූ හෝ උපක්‍රමයෙන් හටගන්නා වූ හෝ කර්ම විපාකයෙන් හටගන්නා වූ හෝ යම් වේදනාවන් ඇද්ද, මා හට ඒ වේදනාවන් බොහෝ අයුරින් නූපදිති. අල්පාබාධ ඇත්තේ වෙයි.
අධිචිත්තයෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. විපුල කොට ලබන්නේ වෙමි. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොවදී ම ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට පැමිණ වසන්නේ වෙමි.
මහණෙනි, ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි යමෙකු අරභයා මැනැවින් පවසන්නේ නම් මහණෙනි, ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි මැනැවින් පැවසිය යුත්තේ මා උදෙසා ම ය.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයේ විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
සමණමචල – පුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M