අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.4.5. තමෝතම පරායන සුත්තං

4.2.4.5. අඳුරෙන් අඳුරට යන්නා ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව දකින්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

තමෝතම පරායන හෙවත් අඳුරෙන් අඳුරට යන්නා. තමෝජෝති පරායන හෙවත් අඳුරෙන් එළියට යන්නා. ජෝතිතමෝ පරායන හෙවත් එළියෙන් අඳුරට යන්නා. ජෝතිජෝති පරායන හෙවත් එළියෙන් එළියට යන්නා ය.

1. මහණෙනි, පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නීච කුලයෙහි උපන්නේ වෙයි. සැඩොල් කුලයේ හෝ කුළුපොතු කුලයේ හෝ වැදි කුලයේ හෝ රථකාර කුලයේ හෝ පුක්කුස කුලයේ හෝ උපන්නේ වෙයි. ඉතා දිළිඳු වූයේ වෙයි. අල්ප වූ ආහාරපාන ඇත්තේ වෙයි. දුක සේ දිවි ගෙවන්නේ වෙයි. ඉතා දුක සේ ආහාර වස්ත්‍ර ආදිය ලබයි. එමෙන් ම ඔහු අවලස්සන වෙයි. දුටුවන් අපහදින්නේ වෙයි. මිටි වූයේ වෙයි. බොහෝ ලෙඩ දුක් ඇත්තේ වෙයි. එකැස් ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ ඔය අයුරිනි.

2. මහණෙනි, පුද්ගලයෙක් අඳුරෙන් එළියට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නීච කුලයෙහි උපන්නේ වෙයි. සැඩොල් කුලයේ හෝ කුළුපොතු කුලයේ හෝ වැදි කුලයේ හෝ රථකාර කුලයේ හෝ පුක්කුස කුලයේ හෝ උපන්නේ වෙයි. ඉතා දිළිඳු වූයේ වෙයි. අල්ප වූ ආහාරපාන ඇත්තේ වෙයි. දුක සේ දිවි ගෙවන්නේ වෙයි. ඉතා දුක සේ ආහාර වස්ත්‍ර ආදිය ලබයි. එමෙන් ම ඔහු අවලස්සන වෙයි. දුටුවන් අපහදින්නේ වෙයි. මිටි වූයේ වෙයි. බොහෝ ලෙඩ දුක් ඇත්තේ වෙයි. එකැස් ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන නිවාස පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. මනසින් සුචරිතයෙහි හැසිරෙයි. කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, මනසින් සුචරිතයෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් අඳුරෙන් එළියට යන්නේ ඔය අයුරිනි.

3. මහණෙනි, පුද්ගලයෙක් එළියෙන් අඳුරට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති මහාසාර කුලයෙහි හෝ උපන්නේ වෙයි. ආඪ්‍ය වූයේ මහත් ධනය ඇත්තේ මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ අභිරූප සම්පන්න වෙයි. ඉතා ලස්සන වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් ගෙවල් දොරවල් පහන් ගෘහෝපකරණ ලබන සුළු වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් එළියෙන් අඳුරට යන්නේ ඔය අයුරිනි.

4. මහණෙනි, පුද්ගලයෙක් එළියෙන් එළියට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති මහාසාර කුලයෙහි හෝ උපන්නේ වෙයි. ආඪ්‍ය වූයේ මහත් ධනය ඇත්තේ මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ අභිරූප සම්පන්න වෙයි. ඉතා ලස්සන වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් සුවඳ විලවුන් ගෙවල් දොරවල් පහන් ගෘහෝපකරණ ලබන සුළු වෙයි. ඒ තැනැත්තා කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. මනසින් සුචරිතයෙහි හැසිරෙයි. කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, මනසින් සුචරිතයෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් එළියෙන් එළියට යන්නේ ඔය අයුරිනි.

මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

තමෝතම පරායන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M