අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.9. වණිජ්ජා සුත්තං

4.2.3.9. වෙළඳාම ගැන වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසූහ.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නොවෙන්නේ නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නොසිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත්වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?”

1. “සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය නොදෙයි. ඉදින් එය නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම කඩාකප්පල් වෙයි.

2. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි නොදෙයි. ඉදින් එය අදහස් වූ පරිදි නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු නොවෙයි.

3. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු වෙයි.

4. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් කළ ප්‍රමාණයට ත් වඩා වැඩියෙන් දෙයි. ඉදින් එය අදහස් කළ ප්‍රමාණයට ත් වඩා වැඩියෙන් දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම නොසිතූ අයුරින් ඉතාමත් වැඩිදියුණු වෙයි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නොවන්නේ නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නොසිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත්වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

වණිජ්ජා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M