අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.8. දක්ඛිණා විසුද්ධි සුත්තං

4.2.3.8. දානය පිරිසිදු වීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ දක්ෂිණා විසුද්ධීහු සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, දානයක් ඇත්තේ ය. එම දානය දායක පක්ෂයෙන් පිරිසිදු වෙයි. නමුත් පිළිගන්නා පිරිසෙන් පිරිසිදු නොවෙයි.

මහණෙනි, දානයක් ඇත්තේ ය. එම දානය පිළිගන්නා පිරිස හේතුවෙන් පිරිසිදු වෙයි. නමුත් දෙන පිරිස නිසා පිරිසිදු නොවෙයි.

මහණෙනි, දානයක් ඇත්තේ ය. එම දානය දෙන පිරිස නිසා ත් පිරිසිදු නොවෙයි. පිළිගන්නා පිරිස නිසා ත් පිරිසිදු නොවෙයි.

මහණෙනි, දානයක් ඇත්තේ ය. එම දානය දෙන පිරිස නිසා ත් පිරිසිදු වෙයි. පිළිගන්නා පිරිස නිසා ත් පිරිසිදු වෙයි.

1. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු වන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු නොවන්නේ ත් කෙසේ ද?

මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙයි. නමුත් පිළිගන්නා පිරිස දුස්සීල වෙති. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු වන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු නොවන්නේ ත් මේ අයුරිනි.

2. මහණෙනි, දානයක් පිළිගන්නා උදවියගෙන් පිරිසිදු වන්නේ ත්, දායකයන් නිසා පිරිසිදු නොවන්නේ ත්, කෙසේ ද?

මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා දුස්සීල වෙයි. පවිටු ධර්මයන් ගෙන් යුක්ත වෙයි. නමුත් පිළිගන්නා පිරිස සිල්වත් වෙති. කල්‍යාණ ධර්මයන් ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයක් පිළිගන්නා උදවියගෙන් පිරිසිදු වන්නේ ත්, දායකයන් නිසා පිරිසිදු නොවන්නේ ත් මේ අයුරිනි.

3. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු නොවන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු නොවන්නේ ත් කෙසේ ද?

මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා දුස්සීල වෙයි. පවිටු ධර්මයන් ගෙන් යුක්ත වෙයි. පිළිගන්නා පිරිස ත් දුස්සීල වෙති. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු නොවන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු නොවන්නේ ත් මේ අයුරිනි.

4. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු වන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු වන්නේ ත් කෙසේ ද?

මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙයි. පිළිගන්නා පිරිස ත් සිල්වත් වෙති. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයක් දායකයන් නිසා පිරිසිදු වන්නේ ත්, පිළිගන්නා උදවියගෙන් පිරිසිදු වන්නේ ත් මේ අයුරිනි.

මහණෙනි, මේ වනාහී දාන පිරිසිදු වීම් සතර යි.

සාදු! සාදු!! සාදු!!!

දක්ඛිණාවිසුද්ධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M