එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි සල් රුක අතරෙහි පරිනිර්වාණ අවස්ථාවෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, එක් භික්ෂුවකට හෝ බුදුරජුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් මහණෙනි, එය අසව්. පසුව පසුතැවිලි නොවව්. ‘අනේ අපට ශාස්තෘන් වහන්සේ මුණගැසුණහ. එනමුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට නොහැකි වුණේ ය’ යි.”
මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියහ. දෙවෙනි වතාවට ද භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එක් භික්ෂුවකට හෝ බුදුරජුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් මහණෙනි, එය අසව්. පසුව පසුතැවිලි නොවව්. ‘අනේ අපට ශාස්තෘන් වහන්සේ මුණගැසුණහ. එනමුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට නොහැකි වුණේ ය’ යි.”
දෙවෙනි වතාවට ද ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියහ. තෙවෙනි වතාවට ද භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එක් භික්ෂුවකට හෝ බුදුරජුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා සැකයක් හෝ විමතියක් හෝ ඇත්නම් මහණෙනි, එය අසව්. පසුව පසුතැවිලි නොවව්. ‘අනේ අපට ශාස්තෘන් වහන්සේ මුණගැසුණහ. එනමුදු ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට නොහැකි වුණේ ය’ යි.”
තෙවෙනි වතාවට ද ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, ශාස්තෘ ගෞරවය හේතුවෙන් නොවිමසන්නහු නම් මහණෙනි, යහළුවෙක් ද යහළුවෙකු වෙනුවෙන් විමසිය හැක්කේ ය.”
මෙසේ ත් වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද ව සිටියහ. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, මම මේ භික්ෂු සංඝයා පිළිබඳ ව මේ අයුරින් පැහැදී සිටිමි. එනම් මේ භික්ෂු සංඝයා අතර බුදුරජුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා සැකයක් හෝ විමතියක් හෝ ඇති එක් භික්ෂුවක් වත් නැත්තේ ය.”
“ආනන්දය, ඔබ එය පවසන්නේ පැහැදීමෙනි. මෙහිලා ආනන්දය, තථාගතයන්ට අවබෝධයක් ම ඇත්තේ ය. එනම් ‘මේ භික්ෂු සංඝයා අතර බුදුරජුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා සැකයක් හෝ විමතියක් හෝ ඇති එක් භික්ෂුවක් වත් නැත්තේ ය’ යන කරුණ යි. ආනන්දය, මේ පන්සියයක් වූ භික්ෂූන් අතර කෙළවරින් ම සිටින යම් භික්ෂුවක් ඇද්ද, හේ ද සෝවාන් වූයේ වෙයි. නොපිරිහී වැටෙන ස්වභාවයෙන් යුක්ත වූයේ වෙයි. නියත වශයෙන් නිවන අවබෝධ කරන්නේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
කුසිනාරා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M