මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ අසත්පුරුෂයා හඳුනාගත යුත්තේ ය. ඒ කවර කරුණු සතරකින් ද යත්;
1. මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් අනුන්ගේ නුගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
2. තව ද මහණෙනි, අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වෙයි. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් අනුන්ගේ ගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
3. තව ද මහණෙනි, අසත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වෙයි. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් තමාගේ නුගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
4. තව ද මහණෙනි, අසත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් තමාගේ ගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා අසත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ අසත්පුරුෂයා හඳුනාගත යුත්තේ ය.
මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ සත්පුරුෂයා හඳුනාගත යුත්තේ ය. ඒ කවර කරුණු සතරකින් ද යත්;
1. මහණෙනි, මෙහිලා සත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වෙයි. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් අනුන්ගේ නුගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
2. තව ද මහණෙනි, සත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් අනුන්ගේ ගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
3. තව ද මහණෙනි, සත්පුරුෂයා තමාගේ යම් අගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව නොවිමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. විමසූ කල්හී හෙළි කිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහෙලා, නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් තමාගේ නුගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
4. තව ද මහණෙනි, සත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද, ඒ පිළිබඳ ව විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වෙයි. නොවිමසූ කල්හී හෙළි නොකිරීම ගැන කවර කතා ද? විමසන ලද්දේ, නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහෙලා, වසා අසම්පූර්ණ වශයෙන් තමාගේ ගුණ පවසන්නේ වෙයි. මහණෙනි, ‘මේ භවතා සත්පුරුෂයෙකි’ යි මොහු හඳුනාගත යුත්තේ ය.
මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ සත්පුරුෂයා හඳුනාගත යුත්තේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ලේලියක් යම් රැයක හෝ දහවලක හෝ කැඳවා ගෙන ලද්දේ ද, පැමිණි අළුත ඇය තුළ නැන්දනිය කෙරෙහි ද, මාමණ්ඩිය කෙරෙහි ද, ස්වාමියා කෙරෙහි ද, යටත් පිරිසෙන් දැසි කම්කරු පුරුෂයන් කෙරෙහි ද බලවත් විලිබිය පවතින්නේ වෙයි. ඕ පසු කලක එකට වාසය කිරීමෙන් විශ්වාසය වැඩී යාමෙන් පසු නැන්දනියට ද, මාමණ්ඩියට ද, ස්වාමියාට ද, මෙසේ පවසන්නී ය. ‘පහව යව්. තෙපි කුමක් නම් දනිව් ද?’
එසෙයින් ම මහණෙනි, මේ ශාසනයෙහි යම්කිසි භික්ෂුවක් යම් රැයක හෝ දහවලක හෝ ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වෙයි ද, එකල්හී ඔහුට භික්ෂූන් කෙරෙහි ද, භික්ෂුණීන් කෙරෙහි ද, උපාසකයන් කෙරෙහි ද, උපාසිකාවන් කෙරෙහි ද යටත් පිරිසෙන් ආරාමික සේවකාදීන් කෙරෙහි ද, බලවත් හිරි ඔතප් පවතින්නේ වෙයි. එහෙත් පසු කාලයක එකට සිටීමෙන්, විශ්වාසය වැඩීමෙන් තම ගුරුවරයාට ද, උපාධ්‍යායන් වහන්සේට ද මෙසේ කියයි. ‘පහව යව්. තෙපි කුමක් නම් දන්නහුද?’ යි. එහෙයින් මහණෙනි, මේ අයුරින් හික්මිය යුත්තේ ය. අළුත ගෙනා ලේලිය යම්බඳු විලිබිය ඇති සිතකින් වසන්නී ද, එබඳු සිතකින් වාසය කරන්නෙමු යි. මහණෙනි, ඔබ මේ අයුරින් හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අසප්පුරිස වධුකා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M