අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.2.9. පධාන සුත්තං

4.2.2.9. ප්‍රධන් වීර්යය ගැන වදාළ දෙසුම

මහණෙනි, ප්‍රධන් වීර්යයෝ සතරෙකි. කවර සතරක් ද යත්; සංවරප්පධාන ය, පහාණප්පධාන ය, භාවනාප්පධාන ය, අනුරක්ඛණප්පධාන ය වශයෙනි.

1. මහණෙනි, සංවරප්පධානය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මෙය සංවරප්පධාන යැයි කියනු ලැබේ.

2. මහණෙනි, පහාණප්පධානය යනු කුමක් ද? උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මෙය පහාණප්පධාන යැයි කියනු ලැබේ.

3. මහණෙනි, භාවනප්පධානය යනු කුමක් ද? නූපන් කුසල් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මෙය භාවනප්පධාන යැයි කියනු ලැබේ.

4. මහණෙනි, අනුරක්ඛණප්පධානය යනු කුමක් ද? උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරිම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මෙය අනුරක්ඛණප්පධානය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී ප්‍රධන් වීර්යයෝ සතර යි.

(ගාථා)

1. සංවරප්පධාන ය, පහාණප්පධාන ය, භාවනාප්පධාන ය, අනුරක්ඛණප්පධාන ය යන මේ පධන් වීර්යයෝ සතර දෙන ආදිච්ච බන්ධු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දාහ. මේ සසුනෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇති ව යම් ප්‍රධන් වීර්යය සතරකින් යුක්ත වූයේ වෙයි ද, දුකේ ක්ෂය වීම වූ නිවනට පැමිණෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පධාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M