අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.2.7. අහිමෙත්ත සුත්තං

4.2.2.7. සර්පයන්ට මෙත් වැඩීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සැවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙකු දෂ්ට කිරීමෙන් කළුරිය කළේ වෙයි. එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, මෙහි සැවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙකු දෂ්ට කිරීමෙන් කළුරිය කළේ ය.”

“මහණෙනි, ඒ භික්ෂුව සතරක් වූ සර්පරාජ කුලයන්ට මෛත්‍රී චිත්තය නොපැතිරුවේ ය. ඉදින් මහණෙනි, ඒ භික්ෂුව සතරක් වූ සර්පරාජ කුලයන්ට මෛත්‍රී චිත්තය පැතිර වූයේ නම්, මහණෙනි, ඒ භික්ෂුව සර්පයෙකු විසින් දෂ්ට කරනු ලදු ව කළුරිය නොකරන්නේ ය.

ඒ කවර සර්පරාජ කුල සතරක් ද යත්, විරූපාක්ෂ සර්පරාජ කුලය, ඒරාපථ සර්පරාජ කුලය, ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය, කණ්හාගෝතමක සර්පරාජ කුලය යි.

මහණෙනි, ඒ භික්ෂුව සතරක් වූ මේ සර්පරාජ කුලයන්ට මෛත්‍රී චිත්තය නොපැතිරුවේ ය. ඉදින් මහණෙනි, ඒ භික්ෂුව සතරක් වූ මේ සර්පරාජ කුලයන්ට මෛත්‍රී චිත්තය පැතිර වූයේ නම්, මහණෙනි, ඒ භික්ෂුව සර්පයෙකු විසින් දෂ්ට කරනු ලදු ව කළුරිය නොකරන්නේ ය.

මහණෙනි, මේ සතරක් වූ සර්පරාජ කුලයන්ට මෙත් සිත පතුරුවන්නට අනුමත කරමි. ඒ තමා ව අනතුරින් වළක්වා ගැනීම පිණිස ත්, තමා ව රැක ගැනීම පිණිස ත්, තමාට යහපත් රැකවරණය පිණිස ත් ය.

(ගාථා)

1. විරූපාක්ෂ සර්පරාජ කුලයන් වෙත මාගේ මෙත් සිත වේවා! ඒරාපථ සර්පරාජ කුලයන් වෙත මාගේ මෙත් සිත වේවා! ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලයන් වෙත මාගේ මෙත් සිත වේවා! කණ්හාගෝතමක සර්පරාජ කුලයන් වෙත මාගේ මෙත් සිත වේවා!

2. පා රහිත සතුන් වෙත මාගේ මෙත් සිත වේවා! දෙපා ඇති සතුන් වෙත මාගේ මෙත් සිත වේවා! සිව් පා ඇති සතුන් වෙත මාගේ මෙත් සිත වේවා! බොහෝ පා ඇති සතුන් වෙත මාගේ මෙත් සිත වේවා!

3. පා රහිත වූ සතෙක් මා හට හිංසා නොකෙරේවා! දෙපා ඇති සතෙක් මා හට හිංසා නොකෙරේවා! සිව් පා ඇති සතෙක් මා හට හිංසා නොකෙරේවා! බොහෝ පා ඇති සතෙක් මා හට හිංසා නොකෙරේවා!

4. සියළු සත්වයෝ, සියළු ප්‍රාණීහු, සියළු භූතයෝ ද, සියල්ලෝ සියළු යහපත දකිත්වා! ඒ කිසිවෙකු කරා පවිටු දෙයක් නොපැමිණේවා!

බුදුරජාණෝ අප්‍රමාණ ගුණයෙන් යුතුයහ. ධර්මය අප්‍රමාණ ගුණයෙන් යුතුය. ආර්ය සංඝ තෙමේ අප්‍රමාණ ගුණයෙන් යුතුය. එනමුදු සර්පයෝ ය, ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සුහුණෝ ය, මීයෝ ය යනාදී සත්වයෝ ගුණ වශයෙන් සීමා ඇත්තාහු ය. මා විසින් රැකවරණය කරන ලද්දේ ය. මා විසින් පරිත්‍රාණ කරන ලද්දේ ය. භූතයෝ පසුබැස යත්වා! ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත්බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරමි.

සාදු! සාදු!! සාදු!!!

අහි මෙත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M