අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.8. සුදත්ත අනාථපිණ්ඩික සුත්තං

4.2.1.8. අනේපිඬු සුදත්ත සිටාණන්ට වදාළ දෙසුම

(සාවත්ථි නිදානං)

සැවැත් නුවරදී ය……

අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අනාථපිණ්ඩිකං ගහපතිං භගවා ඒතදවෝච:

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“භෝජනං ගහපති, දදමානෝ අරියසාවකෝ පටිග්ගාහකානං චත්තාරි ඨානානි දේති. කතමානි චත්තාරි?

“ගෘහපතිය, බොජුන් පුදන ආර්ය ශ්‍රාවක තෙමේ ඒ දන් පිළිගන්නවුන් හට සතර කරුණක් දෙන්නේ ය. ඒ කවර සතර කරුණක් ද යත්;

ආයුං දේති, වණ්ණං දේති, සුඛං දේති, බලං දේති. ආයුං ඛෝ පන දත්වා ආයුස්ස භාගී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා… සුඛං දත්වා… බලං දත්වා බලස්ස භාගී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. භෝජනං ගහපති, දදමානෝ අරියසාවකෝ පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දේතී”ති.

ආයුෂය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට ආයුෂයට හිමිකාරයෙක් වෙයි. පැහැය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට පැහැයට හිමිකාරයෙක් වෙයි. සැපය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සැපයට හිමිකාරයෙක් වෙයි. සවිය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සවියට හිමිකාරයෙක් වෙයි.

ගෘහපතිය, බොජුන් පුදන ආර්ය ශ්‍රාවක තෙමේ ඒ දන් පිළිගන්නවුන් හට මේ සතර කරුණ දෙන්නේ ය.

“යෝ සඤ්ඤතානං පරදත්තභෝජිනං, කාලේන සක්කච්ච දදාති භෝජනං;
චත්තාරි ඨානානි අනුප්පවෙච්ඡති, ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච.

යමෙක් සංයත වූ ඉඳුරන් ඇති, අනුන් දුන් බොජුනෙන් යැපෙන, මුනිවරුන් හට කැප කාලයෙහි සකස් කොට බොජුන් පුදයි ද, හේ ආයුෂය ත්, වර්ණය ත්, සැපය ත්, සවිය ත් යන කරුණු සතර පිදුවේ වෙයි.

“සෝ ආයුදායී බලදායී සුඛං වණ්ණං දදෝ නරෝ;
දීඝායු යසවා හෝති, යත්ථ යත්ථූපපජ්ජතී”ති.

ආයුෂ දන් දෙන, සවිය ද දන් දෙන, සැපය ත් පැහැය ත් දන් දෙන ඒ මනුෂ්‍ය තෙමේ යම් යම් තැනක උපදින්නේ වෙයි ද, දීර්ඝායුෂ ඇත්තේ වෙයි. මහා පිරිවරින් යුක්ත වූයේ වෙයි.

සුදත්ත අනාථපිණ්ඩික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M