එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භගු රටෙහි සුංසුමාරගිරි නුවර භේසකලා වනය නම් වූ මිගදායෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන නකුලපිතු ගෘහපතියාගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පැණවූ අසුනෙහි වැඩහුන් සේක. ඉක්බිති නකුලපිතා ගෘහපතිතුමා ද, නකුලමාතා බිරිඳ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් නකුලපිතා ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, යම් දිනෙක මේ නකුල මාතා බිරිඳ ඉතා කුඩා යොවුන් අවදියේ දී මේ නිවසට කැඳවාගෙන එන ලද්දී ද, එදා සිට මේ නකුලමාතා බිරිඳ සිතින් වත් මම් ඉක්මගිය බවක් නොදනිමි. කයින් ඉක්මයාම යනු කිම? ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදී ත් එකිනෙකා දකින්නට, මරණින් මතු පරලොවෙහිදී ත් එකිනෙකා දකින්නට කැමතියම්හ.”
ඉක්බිති නකුලමාතා බිරිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.
“ස්වාමීනී, යම් දිනෙක මේ නකුල පිතා ගෘහපතිතුමා වෙනුවෙන් මම ඉතා කුඩා යොවුන් අවදියේ දී මේ නිවසට කැඳවාගෙන එන ලද්දී ද, එදා සිට මේ නකුලපිතා ගෘහපතිතුමා සිතින් වත් මම් ඉක්මගිය බවක් නොදනිමි. කයින් ඉක්මයාම යනු කිම? ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදී ත් එකිනෙකා දකින්නට, මරණින් මතු පරලොවෙහිදී ත් එකිනෙකා දකින්නට කැමතියම්හ.”
“ගෘහපතිවරුනි, ඉදින් පතිපත්නීහු දෙදෙන මේ ජීවිතයේදී එකිනෙකා දකින්නට ත්, පරලොව ජීවිතයේදී එකිනෙකා දකින්නට ත් කැමති වන්නහු නම් දෙදෙනා ම ශ්‍රද්ධාවෙන් සම විය යුත්තාහු ය. සීලයෙන් සම විය යුත්තාහු ය. ත්‍යාගයෙන් සම විය යුත්තාහු ය. ප්‍රඥාවෙන් සම විය යුත්තාහු ය. එවිට ඔවුහු මෙලොව ත් ඔවුනොවුන් දකිති. පරලොව ත් ඔවුනොවුන් දකිති.”
දෙදෙනා ම සැදැහැ ඇත්තෝ ය. දන් පුදන්නෝ ය. සිල්වත්හු ය. දැහැමි ව දිවි ගෙවන්නෝ ය. ඒ පතිපත්නීහු එකිනෙකාට ප්‍රිය බස් තෙපලමින් සිටිති.
සමසිල් ඇති ඒ දෙදෙනාගේ දියුණුව නිතැතින් සැළසෙයි. ඔවුනොවුන්ට එය ඉතා පහසුවෙකි. සතුරෝ දුෂ්ට සිත් ඇති ව සිටිති.
මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිර සම සීලයෙන් යුක්ත ව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපිද තමන් කැමති වූ පංච කාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කරත්.
පඨම සමජීවී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M