අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.2. දුතිය පුඤ්ඤාභිසන්ද සුත්තං

4.2.1.2. පුණ්‍ය ප්‍රවාහය ගැන වදාළ දෙවෙනි දෙසුම

“චත්තාරෝමේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමේ චත්තාරෝ?

මහණෙනි, මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ සතර මොනවාද?

ඉධ, භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. අයං භික්ඛවේ, පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

1. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක වශයෙනි. මහණෙනි, මෙය වනාහී පළමු වැනි පුණ්‍ය ප්‍රවාහය යි. කුසල ප්‍රවාහය යි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“පුනචපරං භික්ඛවේ, අරියසාවකෝ ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ති. අයං භික්ඛවේ, දුතියෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

2. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාකොට දෙසන ලද්දේ ය. මේ ධර්මය සන්දිට්ඨික වූ ත්, අකාලික වූ ත්, ඇවිත් බලන්න කිව හැකි වූ ත්, තමා තුළට පමුණුවා ගත හැකි වූ ත්, නැණවතුන් විසින් තම තම නැණ පමණින් දත යුතු වූ ත් ධර්මයකි යි වශයෙනි. මහණෙනි, මෙය වනාහී දෙවෙනි පුණ්‍ය ප්‍රවාහය යි. කුසල ප්‍රවාහය යි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“පුනචපරං භික්ඛවේ, අරියසාවකෝ සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ‘සුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුප්පටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති. අයං භික්ඛවේ, තතියෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

3. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. උජුපටිපන්න වන සේක. ඤායපටිපන්න වන සේක. සාමීචිපටිපන්න වන සේක. මාර්ගඵල යුගල වශයෙන් සතර දෙනෙකුත්, පුද්ගල වශයෙන් අටදෙනෙකුත් වන සේක. ආහුණෙය්‍ය වන සේක. පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින්කෙත වශයෙනි. මහණෙනි, මෙය වනාහී තුන් වෙනි පුණ්‍ය ප්‍රවාහය යි. කුසල ප්‍රවාහය යි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

“පුනචපරං භික්ඛවේ, අරියසාවකෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අඛණ්ඩේහි අච්ඡිද්දේහි අසබලේහි අකම්මාසේහි භුජිස්සේහි විඤ්ඤුප්පසත්ථේහි අපරාමට්ඨේහි සමාධිසංවත්තනිකේහි. අයං භික්ඛවේ, චතුත්ථෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවග්ගිකෝ සුඛවිපාකෝ සග්ගසංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

4. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි. එනම් නොකැඩුණු, සිදුරු රහිත වූ, පැල්ලම් රහිත වූ, කැලැල් රහිත වූ, ණය රහිත වූ, දෘෂ්ටි පරාමර්ශ රහිත වූ, නැණවතුන්ගේ පැහැදීමට ලක්වන චිත්ත සමාධිය පිණිස පවතින්නා වූ සීලය යි. මහණෙනි, මෙය වනාහී සිව්වෙනි පුණ්‍ය ප්‍රවාහය යි. කුසල ප්‍රවාහය යි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.

ඉමේ ඛෝ භික්ඛවේ, චත්තාරෝ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තී”ති.

මහණෙනි, මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරයි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.

“යස්ස සද්ධා තථාගතේ, අචලා සුප්පතිට්ඨිතා;
සීලඤ්ච යස්ස කල්‍යාණං, අරියකන්තං පසංසිතං.

යමෙක් තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව නොසෙල්වෙන පැහැදීමක් මැනැවින් පිහිටා ඇද්ද, යමෙකු හට නැණවතුන් විසින් පසසනු ලබන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් ඇද්ද,

“සංඝේ පසාදෝ යස්සත්ථි, උජුභූතඤ්ච දස්සනං;
අදළිද්දෝති තං ආහු, අමෝඝං තස්ස ජීවිතං.

යමෙක් තුළ ශ්‍රාවක සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද, ඍජු වූ ධර්මාවබෝධයක් ඇද්ද, ඔහු නොදිළින්දෙක් යැයි කියති. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවේ.

“තස්මා සද්ධඤ්ච සීලඤ්ච, පසාදං ධම්මදස්සනං;
අනුයුඤ්ජේථ මේධාවී, සරං බුද්ධාන සාසන”න්ති.

එහෙයින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්, ධර්මාවබෝධය ත් යන මේ කරුණු වලින් යුතු වූ නුවණැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කරන්නේ ය.

දුතිය පුඤ්ඤාභිසන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M