අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.4.9. උජ්ජාය සුත්තං

4.1.4.9. උජ්ජාය බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

එකල්හී උජ්ජාය බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උජ්ජාය බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසී ය.

“භවත් ගෞතමයන් වහන්සේ ත් යාගය වර්ණනා කරන සේක් ද?”

“බ්‍රාහ්මණය, මම සියළු යාගය වර්ණනා නොකරමි. එමෙන් ම බ්‍රාහ්මණය, මම නොවර්ණනා ද නොකරමි. බ්‍රාහ්මණය, යම්බදු යාගයකදී ගවයෝ මරත් ද, එළු බැටළුවෝ මරත් ද, කුකුළෝ ඌරෝ මරත් ද, විවිධ ප්‍රාණීහු වධයට පැමිණෙත් ද, බ්‍රාහ්මණය, මෙබඳු වූ ප්‍රාණවධ සහිත යාගය මම වර්ණනා නොකරමි. එයට හේතුව කුමක් ද? බ්‍රාහ්මණය, මෙබඳු වූ ප්‍රාණවධ සහිත ව කරන යාගය සඳහා රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් කෙනෙක් හෝ සහභාගී නොවෙති.

බ්‍රාහ්මණය, යම්බදු යාගයකදී ගවයෝ නොනැසෙත් ද, එළු බැටළුවෝ නොනැසෙත් ද, කුකුළෝ ඌරෝ නොනැසෙත් ද, විවිධ ප්‍රාණීහු වධයට නොපැමිණෙත් ද, බ්‍රාහ්මණය, එබඳු වූ හිංසා රහිත යාගය මම වර්ණනා කරමි. යම් මේ නිත්‍ය දානයක් ඇද්ද, කුල පිළිවෙලින් දෙන දානයක් ඇද්ද, එය යි. බ්‍රාහ්මණය, එබඳු වූ හිංසා රහිත යාගයට රහතන් වහන්සේලා ද, රහත් මගට පිළිපන් අය ද සහභාගී වෙති.

(ගාථා)

1. අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්ය, නිරග්ගල ආදී සත්ව හිංසා ඇති මහා යාගයෝ වෙත් ද, මේවා මහත්ඵල නොවෙති.

2. යම් යාගයකදී එළු බැටලුවෝ ද, ගවයෝ ද, විවිධ ප්‍රාණීහු ද ඝාතනය වෙත් නම් එබඳු වූ යාගයන් කරා යහපත් මගෙහි පිළිපන් මහාර්ෂිවරු නොපැමිණෙති.

3. යම් යාගයක් ප්‍රාණීන් හිංසා රහිත වෙත් ද, එය හැම කල්හි අනුකූල වෙයි. ඒ යාගයන්හි එළු බැටළුවන්, ගවයන්, විවිධ ප්‍රාණීහු නොනැසෙති.

4. මෙවැනි යාගය කරා යහපත් මගට පිළිපන් මහර්ෂීහු පැමිණෙති. නුවණැති කෙනා මේ යාගය කරන්නේ ය. මේ යාගය මහත්ඵල සහිත ය.

5. මේ යාගය කරන තැනැත්තාට යහපතක් ම වෙයි. වරදක් නොවෙයි. යාගය ත් විපුල පල දෙයි. දෙවියෝ ත් පහදිති.

සාදු! සාදු!! සාදු!!!

උජ්ජාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M