අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.4.10. උදායී සුත්තං

4.1.4.10. උදායී බ්‍රාහ්ණයාට වදාළ දෙසුම

එකල්හී උදායි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ ….(පෙ)…. එකත්පස් ව හුන් උදායි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසී ය.

“භවත් ගෞතමයන් වහන්සේ ත් යාගය වර්ණනා කරන සේක් ද?”

“බ්‍රාහ්මණය, මම සියළු යාගය වර්ණනා නොකරමි. එමෙන් ම බ්‍රාහ්මණය, මම නොවර්ණනා ද නොකරමි. බ්‍රාහ්මණය, යම්බදු යාගයකදී ගවයෝ මරත් ද, එළු බැටළුවෝ මරත් ද, කුකුළෝ ඌරෝ මරත් ද, විවිධ ප්‍රාණීහු වධයට පැමිණෙත් ද, බ්‍රාහ්මණය, මෙබඳු වූ ප්‍රාණවධ සහිත යාගය මම වර්ණනා නොකරමි. එයට හේතුව කුමක් ද? බ්‍රාහ්මණය, මෙබඳු වූ ප්‍රාණවධ සහිත ව කරන යාගය සඳහා රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් කෙනෙක් හෝ සහභාගී නොවෙති.

බ්‍රාහ්මණය, යම්බදු යාගයකදී ගවයෝ නොනැසෙත් ද, එළු බැටළුවෝ නොනැසෙත් ද, කුකුළෝ ඌරෝ නොනැසෙත් ද, විවිධ ප්‍රාණීහු වධයට නොපැමිණෙත් ද, බ්‍රාහ්මණය, එබඳු වූ හිංසා රහිත යාගය මම වර්ණනා කරමි. යම් මේ නිත්‍ය දානයක් ඇද්ද, කුල පිළිවෙලින් දෙන දානයක් ඇද්ද, එය යි. බ්‍රාහ්මණය, එබඳු වූ හිංසා රහිත යාගයට රහතන් වහන්සේලා ද, රහත් මගට පිළිපන් අය ද සහභාගී වෙති.

(ගාථා)

1. ප්‍රාණවධ රහිත වූ, කැප වූ, සුදුසු කාලයෙහි යාග උපකරණ රැස් කොට දන් දෙයි නම්, එයට සංවර වූ බ්‍රහ්මචාරීහු සහභාගී වෙති.

2. ලෝකයෙහි කෙලෙස් ආවරණ සිඳලූ ලොව සැරිසැරීම් ඉක්මවා ගිය පුණ්‍ය මාර්ගය පිළිබඳ ව කරුණු පැවසීමෙහි දක්ෂ වූ බුදුවරු එම යාගය පසසති.

3. යම් යාගයක් හෝ මළවුන් උදෙසා දෙන දානයක් හෝ නිසි පරිදි කරයි නම්, බඹසර සිල් ඇති යහපත් පුණ්‍ය ක්ෂේත්‍රයෙහි පහන් සිතින් යුතුව යාග කරන්නේ ය.

4. දන් පැන් ලැබීමට සුදුසු වූවන් කෙරෙහි යමක් කරන ලද්දේ ද, එය මැනැවින් කළ පූජාවකි. මැනැවින් කළ දානයකි. මනා ව ලැබූ දෙයකි. එම දානය විපුල ඵල ලබාදෙයි. දෙවියෝ ද පහදිති.

5. මෙබඳු වූ යාග කොට නුවණැති සැදැහැවත් කෙනා නොඇළුණු සිතින් යාග කොට දුක් රහිත වූ සැප ලොවක් කරා ඒ පණ්ඩිතයා යන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

උදායී සූත්‍රය නිමා විය.

හතරවෙනි චක්ක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

චක්ක සූත්‍රය, සංගහ සූත්‍රය, සීහ සූත්‍රය, පසාද සූත්‍රය, වස්සකාර සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය, අපරිහානීය සූත්‍රය, පතිලීන සූත්‍රය, උජ්ජාය සූත්‍රය සහ උදායී සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M