මහණෙනි, වෙන් වෙන් ව සත්‍යය යැයි වශයෙන් පවසන දෑ බැහැර කළ, සියළු සෙවීම් නවත්වන ලද, සංසිඳුවා ගත් කාය සංස්කාරයෙන් යුතු භික්ෂුව හුදෙකලාවට ගියේ යැයි කියනු ලැබේ.
මහණෙනි, භික්ෂුව වෙන් වෙන් ව සත්‍යය යැයි වශයෙන් පවසන දෑ බැහැර කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවට යම් ඒ බොහෝ ශ්‍රමණ බමුණන් වෙන් වෙන් වශයෙන් සත්‍යය යැයි පවසන්නා වූ කරුණු අසන්නට ලැබේ. එනම් ලෝකය සදාකාලික ය කියා හෝ ලෝකය සදාකාලික නැත කියා හෝ ලෝකය අන්තවත් කියා හෝ ලෝකය අනන්තවත් කියා හෝ ජීවය එය යි, ශරීරය එය යි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකි කියා හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටියි කියා හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු නොසිටියි කියා හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටියි, නොසිටියි කියා හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු නොසිටියි, නොම නොසිටියි කියා හෝ දෘෂ්ටීහු වෙත් ද, මේ සියළු දෘෂ්ටීහු ඒ භික්ෂුව විසින් බැහැර කරන ලද්දාහු ය. වමන කරන ලද්දාහු ය. අත්හරින ලද්දාහු ය. ප්‍රහාණය කරන ලද්දාහු ය. දුරු කරන ලද්දාහු ය. මෙසේ මහණෙනි, භික්ෂුව වෙන් වෙන් ව පවසන සත්‍යයන් බැහැර කරන ලද්දේ වෙයි.
මහණෙනි, භික්ෂුව සියළු සෙවීම් මැනැවින් අත්හැරියේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව හට කාමයන් සෙවීම ප්‍රහීණ වූයේ වෙයි. භවයන් සෙවීම ප්‍රහීණ වූයේ වෙයි. වෙනත් ශාසනයන්හි විමුක්ති මගක් සෙවීම සංසිඳුණේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මැනැවින් සියළු සෙවීම් අත්හළේ වෙයි.
මහණෙනි, භික්ෂුව සංසිඳුණු කාය සංස්කාර ඇත්තේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණයෙන්, දුක ද ප්‍රහාණයෙන්, කලින් ම සොම්නස් දොම්නස් නැති ව යාමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතු සතර වන ධ්‍යානයට සමවැදී වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව සංසිඳුවා ගත් කාය සංස්කාර ඇත්තේ වෙයි.
මහණෙනි, භික්ෂුව හුදෙකලාව සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අස්මිමානය ප්‍රහාණය වූයේ වෙයි. මුලින් ම සිඳින ලද්දේ වෙයි. කරටිය කැඩුණු තල් ගසක් බඳු වූයේ වෙයි. අභාවයට පත් වූයේ වෙයි. යලි නූපදින ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව හුදෙකලාවෙහි සිටින්නේ වෙයි.
මහණෙනි, මෙසේ වෙන් වෙන් ව සත්‍යය යැයි වශයෙන් පවසන දෑ බැහැර කළ, සියළු සෙවීම් නවත්වන ලද, සංසිඳුවා ගත් කාය සංස්කාරයෙන් යුතු භික්ෂුව හුදෙකලාවට ගියේ යැයි කියනු ලැබේ.
(ගාථා)
1. කාමය සෙවීම, භවය සෙවීම, බඹසර සෙවීම මෙන් ම මෙය ම සත්‍යය යනාදී දෘෂ්ටීන් ද අත්හරින ලද්දේ වෙයි.
2. සියළු රාග විරාගයෙන්, තණ්හාව ක්ෂය වීමෙන්, විමුක්තියට පත් වූ භික්ෂුවගේ සියළු සෙවීම් දුරු වී ඇත්තේ ය. දෘෂ්ටීන් හටගන්නා තැන් මුළුමනින් ම නැසී ඇත්තේ ය.
3. ඒකාන්තයෙන් ම ශාන්ත සිත් ඇති, සිහි නුවණ ඇති, සංසිඳුණු කය ඇති, අපරාජිත වූ භික්ෂුව මාන්නය ද ප්‍රහාණය කිරීමෙන් ආර්ය සත්‍යාවබෝධයෙන් හුදෙකලාවට පත් වූයේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
පතිලීන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M