සැවැත් නුවර දී ය …….
මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ භික්ෂුව පිරිහීමට නුසුදුසු ය. නිවනට ළං වී සිටින්නේ ය. ඒ කවර කරුණු සතරකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සීල සම්පන්න වූයේ වෙයි. ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි. නුවණින් සළකා ආහාර ගන්නේ වෙයි. නිදි වරා ධර්මයෙහි හැසිරෙන්නේ වෙයි.
1. භික්ෂුවක් සීල සම්පන්න වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වාසය කරයි. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු වෙයි. අණුමාත්‍ර වරදෙහි ත් බිය දකියි. ශික්ෂා පදයන්හි සමාදන් ව හික්මෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව සීලයෙන් යුක්ත වෙයි.
2. මහණෙනි, භික්ෂුව ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇතිව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක එහි සළකුණු සිතට නොගනියි. එම රූපයෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස ඇස සංවර වීමට පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් සිතා එහි සළකුණු සිතට නොගනියි. එම අරමුණෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස මනස සංවර වීමට පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.
3. මහණෙනි, භික්ෂුව නුවණින් සළකා ආහාර ගන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් මෙනෙහි කොට ආහාර අනුභව කරයි. එනම් ‘මේ ආහාර වළඳන්නේ ජවය පිණිස නොවෙයි. මදය පිණිස නොවෙයි. කය සැරසීම පිණිස නොවෙයි. කයෙහි අඩු තැන් පිරවීමට නොවෙයි. මේ කය පවත්වාලීම පිණිස ය. යැපීම පිණිස ය. පීඩා සංසිඳුවා ගැනීම පිණිස ය. බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිස ය. මෙසේ පැරණි වේදනා නසමි. අළුත් වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව වරදින් තොර බව ද, පහසු විහරණය ද වන්නේ ය’ වශයෙනි. මහණෙනි, මෙසේ භික්ෂුව නුවණින් සළකා ආහාර වළඳන්නේ වෙයි.
4. මහණෙනි, භික්ෂුව නිදිවරා ධර්මයේ හැසිරෙන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දහවල් කාලයෙහි සක්මන් කරමින් ද, වාඩිවෙමින් ද, නිවන් මග වසන ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමු යාමයෙහි සක්මන් කරමින් ද, වාඩිවෙමින් ද නිවන් මග ආවරණය කරන ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු පසට හැරී සිංහ සෙය්‍යාවෙන් දකුණු පාදයට වම් පාදය මදක් ඇල කොට මනා සිහියෙන් යුතුව නැගිටින සංඥාව මෙනෙහි කොට සැතපෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි යළි නැගිට සක්මන් කරමින් ද, වාඩිවෙමින් ද නිවන් මග ආවරණය කරන ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව පිරිහීමට නුසුදුසු ය. නිවනට ළං වී සිටින්නේ ය.
(ගාථා)
1. සීලයෙහි පිහිටි භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් ද යුක්ත වූයේ, නුවණින් සළකා ආහාරය ද වළඳන්නේ, නිදි වැරීමෙහි යුක්ත වූයේ වෙයි.
2. මෙසේ කෙලෙස් තවන වීරියෙන් යුක්ත ව දිවා රාත්‍රී දෙක්හි මැළි නොවී නිවන ලබන අදහසින් කුසල ධර්මයන් දියුණු කරමින් සිටින,
3. අප්‍රමාදයෙහි ඇළුණු භික්ෂුව ප්‍රමාදයෙහි බිය දකිමින් සිටින්නේ පිරිහීමට නුසුදුසු ය. නිවනට ළං වී ම සිටින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
අපරිහානීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M