අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.4.6. ද්‍රෝණ සුත්තං

4.1.4.6. ද්‍රෝණ බමුණාට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවර ත්, සේතව්‍ය නුවරට ත් අතර දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ද උක්කට්ඨා නුවරට ත්, සේතව්‍ය නුවරට ත් අතර දිගු මාර්ගයට පිළිපන්නේ වෙයි. ද්‍රෝණ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන්හී යටි පතුලෙහි පිහිටි දහසක් අර ඇති නිම්වළලු සහිත වූ, නැඹ සහිත වූ, සියළු අයුරින් පිරිපුන් චක්‍ර ලකුණු දුටුවේ ය. දැක මෙසේ සිතුවේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම අසිරිමත් දෙයකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූත දෙයකි ! ඒකාන්තයෙන් ම මේ පාදයන් මනුෂ්‍ය වූ කෙනෙකුගේ විය නොහැකි ය’ යි.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගෙන් බැහැර වී එක්තරා රුක් සෙවණක පළඟක් බැඳ කය ඍජු කොට එළැඹ සිටි සිහියෙන් යුතුව වැඩහුන් සේක. එවිට ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සටහන් අනුව යමින් එක්තරා රුක් සෙවණක වැඩසිටින භාග්‍යවතුන් වහන්සේ දුටුවේ ය. සිත පහන් කරවන, ප්‍රසාදය ම ඇති කරවන, ශාන්ත වූ ඉඳුරන් ඇති, ශාන්ත වූ සිත් ඇති, උත්තම වූ ඉන්ද්‍රිය දමනයෙන් හා සංසිඳීමෙන් යුතු, මුළුමනින් ම දමනය වූ, වසා ගත් දොරටු ඇති, සංයත ඉඳුරන් ඇති, ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේ ය.

“භවත් තෙමේ දෙවියෙක් වත් වන්නෙහි ද?” “බ්‍රාහ්මණය මම දෙවියෙක් නොවෙමි.”

“භවත් තෙමේ ගාන්ධර්වයෙක් වත් වන්නෙහි ද?” “බ්‍රාහ්මණය මම ගාන්ධර්වයෙක් නොවෙමි.”

“භවත් තෙමේ යක්ෂයෙක් වත් වන්නෙහි ද?” “බ්‍රාහ්මණය මම යක්ෂයෙක් නොවෙමි.”

“භවත් තෙමේ මනුෂ්‍යයෙක් වත් වන්නෙහි ද?” “බ්‍රාහ්මණය මම මනුෂ්‍යයෙක් නොවෙමි.”

“භවත් තෙමේ දෙවියෙක් වත් වන්නෙහි දැයි මා ඇසූ විට ‘බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවෙමි’ යි පැවසුවෙහි ය. භවත් තෙමේ ගාන්ධර්වයෙක් වත් වන්නෙහි දැයි මා ඇසූ විට ‘බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක් නොවෙමි’ යි පැවසුවෙහි ය. භවත් තෙමේ යක්ෂයෙක් වත් වන්නෙහි දැයි මා ඇසූ විට ‘බ්‍රාහ්මණය, මම යක්ෂයෙක් නොවෙමි’ යි පැවසුවෙහි ය. භවත් තෙමේ මනුෂ්‍යයෙක් වත් වන්නෙහි දැයි මා ඇසූ විට ‘බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක් නොවෙමි’ යි පැවසුවෙහි ය. එසේ නම් භවතාණෝ කවරහුද?”

“බ්‍රාහ්මණය, මම ආශ්‍රව ප්‍රහාණය කළ කෙනෙකි. යම් ආශ්‍රවයකින් දෙවි කෙනෙක් වන්නේ ද, ඒ ආශ්‍රවයන් මා තුළ ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ඇත. කැඩුණු තල් කරටියක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. නැවත නූපදින ස්වභාවයට පත් වී ඇත. බ්‍රාහ්මණය, මා ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිටින බැවින් යම් ආශ්‍රවයකින් ගාන්ධර්වයෙක් වන්නේ ද, ….(පෙ)…. බ්‍රාහ්මණය, මා ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිටින බැවින් යම් ආශ්‍රවයකින් යක්ෂයෙක් වන්නේ ද, ….(පෙ)…. බ්‍රාහ්මණය, මා ආශ්‍රවයන් ප්‍රහාණය කොට සිටින බැවින් යම් ආශ්‍රවයකින් මනුෂ්‍යයෙක් වන්නේ ද ඒ ආශ්‍රවයන් මා තුළ ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ඇත. කැඩුණු තල් කරටියක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. නැවත නූපදින ස්වභාවයට පත් වී ඇත.

බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. මහනෙල් මලක් හෝ රතු නෙළුමක් හෝ සුදු නෙළුමක් හෝ ජලයෙහි හටගෙන, ජලයෙහි වැඩී ජලයෙන් උඩට පැන නැඟී ජලයෙහි පහස නොලබා සිටියි ද, බ්‍රාහ්මණය, මම් එබඳු කෙනෙක් මි. ලෝකයෙහි ඉපිද, ලෝකයෙහි වැඩී, ලෝකය මැඩ නැගී සිට, ලෝකයේ පහස නොලබා වාසය කරමි. බ්‍රාහ්මණය, මා ‘බුද්ධ’ යනුවෙන් දරා ගන්න.”

(ගාථා)

1. යම් ආශ්‍රවයක් නිසා දෙව්ලොව උපත ලබන්නේ ද, ආකාශචාරී ගාන්ධර්වයෙක් වන්නේ ද, යක්ෂ බවට හෝ යන්නේ ද, මිනිසත් බවකට හෝ යන්නේ ද, එබඳු වූ ආශ්‍රවයෝ මා තුළ ප්‍රහාණය වී ඇත. විධ්වංසනය වී ඇත. විනාශයට පත් වී ඇත.

2. දියේ පහස නොලබා දියට ඉහළින් සිටින සිත්කළු සුදු නෙළුමක් සෙයින් ලෝකයෙහි නොතැවරී ඉහළින් සිටිමි. එහෙයින් බ්‍රාහ්මණය, මම බුදුන් වෙමි.

සාදු! සාදු!! සාදු!!!

ද්‍රෝණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M