එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හී මගධ මහාමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, අපි කරුණු හතරකින් සමන්විත වූ පුද්ගලයා මහා ප්‍රාඥයෙකු වශයෙනුත්, මහා පුරුෂයෙකු වශයෙනුත් පණවමු. ඒ කවර කරුණු සතරකින් ද යත්,
භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඒ ඒ අසන ලද කරුණු පිළිබඳ ව බහුශ්‍රැත වූයේ වෙයි.
ඒ ඒ භාෂිතයාගේ අර්ථය දන්නේ වෙයි. එනම් ‘මේ පවසන ලද කරුණෙහි අර්ථය මෙය යි. මේ පවසන ලද කරුණෙහි අර්ථය මෙය යි’ වශයෙනි.
මනා සිහියෙන් යුතු වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දේ ත්, බොහෝ කලකට පෙර කියූ දේ ත් සිහි කරන්නේ වෙයි. නැවත නැවත සිහි කරන්නේ වෙයි.
යම් මේ ගිහිගෙදර කටයුතු ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස නොවෙයි. එහිලා උපාය වීමංසනයෙන් යුක්ත වෙයි. කටයුතු කිරීමෙහි පිළිවෙලකට කිරීමෙහි දක්ෂ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, අපි මේ කරුණු සතරින් යුක්ත වූ පුද්ගලයා මහා ප්‍රාඥයෙකු වශයෙනුත්, මහා පුරුෂයෙකු වශයෙනුත් පණවමු. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා පැවසූ මෙකරුණ අනුමෝදන් විය යුතු නම්, භවත් ගෞතමයන් වහන්සේ මාගේ වචනය අනුමෝදන් වෙත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ වචනය ප්‍රතික්ෂේප කළ යුතු නම් භවත් ගෞතමයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරත්වා.”
“බ්‍රාහ්මණය, මම ඔබේ වචනය අනුමෝදන් නොවෙමි. එමෙන් ම ප්‍රතික්ෂේප ද නොකරමි. බ්‍රාහ්මණය, මම ද කරුණු සතරකින් යුක්ත පුද්ගලයා මහා ප්‍රාඥයෙකු, මහා පුරුෂයෙකු කොට පණවමි. ඒ කවර කරුණු සතරකින් ද යත්;
1. බ්‍රාහ්මණය, මෙහිලා බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන්නේ වෙයි. බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිටුවන ලද්දේ වෙයි. එනම් මේ කල්‍යාණ ධර්මයන්, කුසල ධර්මයන් තුළ ය.
2. ඒ තැනැත්තා යම් විතර්කයක් සිතන්නට කැමති නම් ඒ විතර්කය සිතයි. යම් විතර්කයක් සිතන්නට අකමැති නම් ඒ විතර්කය නොසිතයි. යම් සංකල්පයක් සිතන්නට කැමති නම් ඒ සංකල්පය සිතයි. යමක් කල්පනා කරන්නට අකමැති නම් එය කල්පනා නොකරයි. මෙසේ තමන්ගේ සිතුවිලි රටාව තුළ සිත වසඟ ව පවත්වන්නේ වෙයි.
3. ගැඹුරු චිත්ත දියුණුවකින් යුතු මේ ජීවිතයේ සැප සේ වසන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ම ලබන්නේ වෙයි. බොහෝ සේ ලබන්නේ වෙයි.
4. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි.
බ්‍රාහ්මණය, මම ඔබේ වචනය අනුමෝදන් නොවෙමි. එමෙන් ම ප්‍රතික්ෂේප ද නොකරමි. බ්‍රාහ්මණය, මම ද මේ කරුණු සතරින් යුක්ත පුද්ගලයා මහා ප්‍රාඥයෙකු, මහා පුරුෂයෙකු කොට පණවමි.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය යි! භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි! භවත් ගෞතමයන් වහන්සේ විසින් පවසන ලද්දේ මොනතරම් සුභාෂිතයක් ද? මේ කරුණු සතරින් සමන්වාගත වූවකු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ව අපි පිළිගනිමු.
භවත් ගෞතමයන් වහන්සේ වනාහී බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක. බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිටුවන ලද්දේ වෙයි. එනම් මේ කල්‍යාණ ධර්මයන්, කුසල ධර්මයන් තුළ ය.
භවත් ගෞතමයන් වහන්සේ වනාහී යම් විතර්කයක් සිතන්නට කැමති නම් ඒ විතර්කය සිතන සේක. යම් විතර්කයක් සිතන්නට අකමැති නම් ඒ විතර්කය නොසිතන සේක. යම් සංකල්පයක් සිතන්නට කැමති නම් ඒ සංකල්පය සිතන සේක. යමක් කල්පනා කරන්නට අකමැති නම් එය කල්පනා නොකරන සේක. මෙසේ තමන්ගේ සිතුවිලි රටාව තුළ සිත වසඟ ව පවත්වන සේක.
භවත් ගෞතමයන් වහන්සේ වනාහී ගැඹුරු චිත්ත දියුණුවකින් යුතු මේ ජීවිතයේ සැප සේ වසන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන සේක. නිදුකින් ම ලබන සේක. බොහෝ සේ ලබන සේක.
භවත් ගෞතමයන් වහන්සේ වනාහී ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන සේක.”
“බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් ම ඔබ විසින් මා වෙතට එල්ල කොට යම් වචනයක් පවසන ලද්දේ ය. වැලිදු එකරුණ මම ඔබට පැහැදිලි කරන්නෙමි.
බ්‍රාහ්මණය, මම් වනාහී බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන්නේ වෙමි. බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිටුවන ලද්දේ වෙමි. එනම් මේ කල්‍යාණ ධර්මයන්, කුසල ධර්මයන් තුළ ය.
බ්‍රාහ්මණය, මම් වනාහී යම් විතර්කයක් සිතන්නට කැමති නම් ඒ විතර්කය සිතමි. යම් විතර්කයක් සිතන්නට අකමැති නම් ඒ විතර්කය නොසිතමි. යම් සංකල්පයක් සිතන්නට කැමති නම් ඒ සංකල්පය සිතමි. යමක් කල්පනා කරන්නට අකමැති නම් එය කල්පනා නොකරමි. මෙසේ තමන්ගේ සිතුවිලි රටාව තුළ සිත වසඟ ව පවත්වන්නේ වෙමි.
බ්‍රාහ්මණය, මම් වනාහී ගැඹුරු චිත්ත දියුණුවකින් යුතු මේ ජීවිතයේ සැප සේ වසන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙමි. නිදුකින් ම ලබන්නේ වෙමි. බොහෝ සේ ලබන්නේ වෙමි.
බ්‍රාහ්මණය, මම් වනාහී ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙමි.”
(ගාථා)
යමෙක් සියළු සත්වයන්ගේ යළි යළි මිය යන උගුලෙන් මුදවාලන, දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස වූ න්‍යාය ධර්මයක් පැවසූ සේක් ද, ඒකාන්තයෙන් ම බොහෝ ජනයා ඒ බුදුරජුන් දැක ත්, අසා ත් සිත පහදවා ගනිති.
මාර්ගය ත්, අමාර්ගය ත් පිළිබඳ ව පවසන්නට දක්ෂ වූ, කළ යුත්ත කොට නිම වූ, ආශ්‍රව රහිත වූ බුදුරජාණෝ අන්තිම ශරීරයකින් යුතු මහා ප්‍රාඥ වූ මහා පුරුෂයාණෝ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
වස්සකාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M