අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.3.4. කාළකාරාම සුත්තං

4.1.3.4. කාළකාරාමයෙහිදී වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාකේතේ විහරති කාළකාරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි – “භික්ඛවෝ”ති. “භදන්තේ”ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච –

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාළකාරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් අමතා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“යං භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි.

මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද, ලබන ලද, සොයන ලද, සිතෙන් විමසන ලද, යමක් ඇද්ද, එය මම දනිමි.

“යං භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතෝ න උපට්ඨාසි.

මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද, ලබන ලද, සොයන ලද, සිතෙන් විමසන ලද යමක් ඇද්ද, එය මම මැනැවින් අවබෝධ කළෙමි. එය තථාගතයන් හට ඉතා ප්‍රකට ව අවබෝධ වූයේ ය. තථාගතයන් වහන්සේ එහි නොපිහිටා සිටියි.

“යං භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමීති වදෙය්‍යං, තං මම අස්ස මුසා.

මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද, ලබන ලද, සොයන ලද, සිතෙන් විමසන ලද යමක් ඇද්ද, එය මම සාමාන්‍ය ලෝකයා දකින පරිදි විපරීත සංඥාවෙන් දනිමි යි කියන්නෙම් නම් එය මාගේ බොරු බසෙකි.

“යං, භික්ඛවේ ….(පෙ)…. තමහං ජානාමි ච න ච ජානාමීති වදෙය්‍යං, තම්පස්ස තාදිසමේව. තමහං නෙව ජානාමි න නජානාමීති වදෙය්‍යං, තං මම අස්ස කලි.

මහණෙනි, දෙවියන් සහිත, ….(පෙ)…. සිතෙන් විමසන ලද යමක් ඇද්ද, එය මම සාමාන්‍ය ලෝකයා දකින පරිදි විපරීත සංඥාවෙන් දනිමි යි කියා ත්, නොදනිමි යි කියා ත්, කියන්නෙම් නම් එය එබඳු ම වූ දෙයකි. එමෙන් ම එය මම නොදනිමි යි කියා ත්, නොදන්නේ නොවෙමි කියා ත් කියන්නෙම් නම් එය මගේ දොස් ඇති කීමකි.

“ඉති ඛෝ, භික්ඛවේ, තථාගතෝ දට්ඨා දට්ඨබ්බං, දිට්ඨං න මඤ්ඤති, අදිට්ඨං න මඤ්ඤති, දට්ඨබ්බං න මඤ්ඤති, දට්ඨාරං න මඤ්ඤති; සුතා සෝතබ්බං, සුතං න මඤ්ඤති, අසුතං න මඤ්ඤති, සෝතබ්බ න මඤ්ඤති, සෝතාරං න මඤ්ඤති; මුතා මෝතබ්බං, මුතං න මඤ්ඤති, අමුතං න මඤ්ඤති, මෝතබ්බං න මඤ්ඤති, මෝතාරං න මඤ්ඤති; විඤ්ඤතා විඤ්ඤාතබ්බං, විඤ්ඤාතං න මඤ්ඤති, අවිඤ්ඤාතං න මඤ්ඤති, විඤ්ඤාතබ්බං න මඤ්ඤති, විඤ්ඤාතාරං න මඤ්ඤති.

මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ දැකිය යුතු යමක් දකින ලද්දේ ද, එය පිළිබඳ ව විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. නොදැක්ක දේ ගැන ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. දැක්ක යුතු දේ ගැන ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. දකිනා පුද්ගලයෙක් පිළිබඳ ව ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. ඇසිය යුතු දේ පිළිබඳ ව ද යමක් අසන ලද්දේ නම් එහි විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. නොඅසන ලද්දේ නම් එහි ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. ඇසිය යුතු දේ ගැන ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. අසන්නා වූ පුද්ගලයෙක් ගැන ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. එමෙන් ම ආඝ්‍රාණය කරන දේ ත්, රස විඳින දේ ත්, පහස ලබන දේ ත් පිළිබඳ ව යම් අත්දැකීමක් ලැබූ විට ඒ පිළිබඳ ව විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. එය ලැබිය යුතු යැයි විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. එය ලබන්නෙක් සිටියි යයි විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. සිතින් දැනගත යුතු දේ පිළිබඳ ව යමක් සිතින් දැනගත්තේ ද එහි විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. සිතින් දැනගත යුතු යමක් ඇද්ද, එහි ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත. සිතින් දැනගන්නා කෙනෙක් පිළිබඳව ද විපරීත සංඥාවෙන් යුතු හැඟීමක් නැත.

ඉති ඛෝ, භික්ඛවේ, තථාගතෝ දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීයේව තාදී. තම්හා ච පන තාදිතම්හා අඤ්ඤෝ තාදී උත්තරිතරෝ වා පණීතතරෝ වා නත්ථීති වදාමී”ති.

මෙසේ මහණෙනි, තථාගත තෙමේ දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද ධර්මයන් පිළිබඳ ව ඇතිවෙන අටලෝ දහම ඉදිරියෙහි කම්පා නොවන්නේ ම අකම්පිත ව සිටියි. ඒ තථාගතයන් තුළ ඇති තාදී ගුණයට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ වෙනත් තාදී ගුණයක් නැතැයි කියමි.

(ගාථා)

“යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා,
අජ්ඣෝසිතං සච්චමුතං පරේසං;
න තේසු තාදී සයසංවුතේසු,
සච්චං මුසා වාපි පරං දහෙය්‍ය.

යම් කිසිවක් දකින ලද්දේ ද, අසන ලද්දේ ද, ආඝ්‍රාණය කරන ලද්දේ ද, රස විඳින ලද්දේ ද, පහස ලබන ලද්දේ ද, මනසින් බැසගන්නා ලද්දේ ද, ඒවා අන්‍යයෝ සත්‍යය යැයි හඟිති. අටලෝ දහමින් නොසැලෙන තාදී ගුණයෙන් යුතු මම ඒ සියල්ල කෙරෙහි තෙමේ ම සංවර වූයේ සත්‍ය හෝ මුසාව හෝ වශයෙන් පවසන්නා වූ අන්‍යයන්ගේ බස නොපිළිගනිමි.

“ඒතං ච සල්ලං පටිගච්ච දිස්වා,
අජ්ඣෝසිතා යත්ථ පජා විසත්තා;
ජානාමි පස්සාමි තථේව ඒතං,
අජ්ඣෝසිතං නත්ථි තථාගතාන”න්ති.

යම් ඉන්ද්‍රියබද්ධ අරමුණක ලෝක සත්ව ප්‍රජාව ඇලී වසත් ද, එය හුලක් වශයෙන් දැක සාමාන්‍ය ජනයා පවසන අයුරින් ‘දනිමි, දකිමි’ යැයි පැවසුව ද එහිලා තථාගතයන් තුළ කිසිදු විපරීත සංඥාවක බැස ගැනීමක් නැත.

සාදු! සාදු!! සාදු!!!

කාළකාරාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M