සැවැත් නුවර දී ය ………
මහණෙනි, එක් අවදියක මම සම්බුද්ධත්වයෙන් පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරංජරා නදී තෙර අජපාල නම් නුග රුක් සෙවණෙහි සිටියෙමි. එකල්හී මහණෙනි, බොහෝ වයසට ගිය, වයෝවෘද්ධ වූ, මහළු වූ, පශ්චිම වයසට පැමිණි, බොහෝ බ්‍රාහ්මණයෝ මා කරා පැමිණියාහු ය. පැමිණ මා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස්ව හිඳගත්හ. මහණෙනි, එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයෝ මා හට මෙය පැවසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, අප විසින් මෙය අසන ලද්දේ ය. එනම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ බොහෝ වයසට ගිය, වයෝවෘද්ධ වූ, මහළු වූ, පශ්චිම වයසට පැමිණි බ්‍රාහ්මණයන් හට නොවඳින්නේ ය, දැක හුනස්නෙන් නොනැගිටින්නේ ය, ආසනයෙන් ආමන්ත්‍රණය නොකරන්නේ ය’යි. භවත් ගෞතමයෙනි, එය සැබෑවක් නොවැ. භවත් ගෞතම තෙමේ බොහෝ වයසට ගිය, වයෝවෘද්ධ වූ, මහළු වූ, පශ්චිම වයසට පැමිණි, බ්‍රාහ්මණයන් හට නොවඳියි. දැක හුනස්නෙන් නොනැගිටියි. අසුනෙන් ආමන්ත්‍රණය නොකරයි. භවත් ගෞතමයෙනි, එය ගැලපෙන දෙයක් නම් නොවෙයි.”
මහණෙනි, එකල්හී මට මේ අදහස ඇතිවිය. ‘ඒකාන්තයෙන් ම මේ ආයුෂ්මත්වරු ස්ථවිර බව හෝ ස්ථවිරභාවය ඇතිකරවන හෝ ධර්මයන් නොදනිති’යි. මහණෙනි, උපතින් වයස අසූවක හෝ අනූවක හෝ සියවසක හෝ වැඩිමහල්ලෙක් වුවද, හේ නුසුදුසු කාලයෙහි කතා කරයි ද, නොසිදු වූ දෙයින් කතා කරයි ද, අනර්ථය කතා කරයි ද, අධර්මය කතා කරයි ද, අවිනය කතා කරයි ද, මතක තබා නොගත යුතු දේ කියයි ද, නොකල්හී සීමාවක් නැති ව අනර්ථ වූ දෙයක් කතා කරයි ද, එබඳු තැනැත්තා බාලයෙකි. ස්ථවිර යන ගණනට නොවැටෙයි.
ඉදින් මහණෙනි, යම් තරුණ දරුවෙක් වේවා, ඉතා කළු කෙස් ඇති භද්‍ර යෞවනයෙන් යුතු පළමු වයසෙහි දරුවෙකු විය හැකි ය. එනමුදු හේ සුදුසු කළ කතා කරයි ද, වූ දෙයින් කතා කරයි ද, යහපත් දේ කියයි ද, ධර්මය කියයි ද, විනය කියයි ද, සිතෙහි තබා ගත යුතු වූ වටිනා දේ කියයි ද, මෙසේ නිසි කල කරුණු සහිත ව සීමාවක් ඇති ව අර්ථ සහිත වූ වචන කියයි ද හේ පණ්ඩිතයෙකි. ස්ථවිර ම යැයි ගණනට වැටෙයි.
මහණෙනි, ස්ථවිර බවට පත් කරන ධර්මයෝ සතරෙකි. කවර සතරක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව වාසය කරයි. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් භය දකිමින්, ශික්ෂා පදයන් සමාදන් ව වාසය කරයි.
2. බහුශ්‍රැත වෙයි. ඒ ඇසූ දේ දරා ගන්නේ වෙයි. බොහෝ සෙයින් අසා රැස් කරගත් ධර්මය ඇත්තේ වෙයි. යම් ධර්මයක් මුල කල්‍යාණ වෙයි ද, මැද කල්‍යාණ වෙයි ද, අවසානය කල්‍යාණ වෙයි ද, අර්ථ සහිත වෙයි ද, යහපත් ප්‍රකාශනයෙන් යුතු වෙයි ද, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මග පවසයි ද, එබඳු වූ ධර්මය බොහෝ කොට අසන ලද්දේ වෙයි. මනසින් ධරණ ලද්දේ වෙයි. වචනයෙන් පිරිවහන ලද්දේ වෙයි. සිතෙන් මෙනෙහි කරන ලද්දේ වෙයි. එහි අර්ථ අවබෝධ කරන ලද්දේ වෙයි.
3. චිත්ත දියුණුව ඇසුරු කළ, මෙලොව දී ම සැප විහරණය ලබා දෙන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. සුව සේ ලබන්නේ වෙයි. බොහෝ සෙයින් ලබන්නේ වෙයි.
4. ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් පසක් කොට එයට පැමිණ වාසය කරන්නේ වෙයි.
මහණෙනි, මෙය වනාහී ස්ථවිර බවට පත්කරවන ධර්ම සතර යි.
(ගාථා)
යමෙක් විසුරුණු සිතින් යුතුව බොහෝ කොට නිසරු බස් කියමින් සිටියි ද, අසමාහිත සංකල්ප ඇති, අසද්ධර්මයෙහි ඇළුණු, සතෙක් වැනි හේ පාප දෘෂ්ටි ඇත්තේ ආදර රහිත වූයේ ස්ථවිර භාවයෙන් දුරු වූයේ ම වෙයි.
යම් කෙනෙක් සීල සම්පන්න ව, ශ්‍රැතවත් ව, වහා වැටහෙන නුවණින් යුතුව, සංසුන් ඉඳුරන් ඇති ව, ස්ථිර බවට පත් කරවන ධර්මයන් තුළ ප්‍රඥාවෙන් අර්ථ විමසා බලයි ද, සියළු ධර්මයන්ගෙන් එතෙරට ගිය හේ කෙලෙස් හුල් නැත්තේ වෙයි. ප්‍රතිභාන ඇත්තේ වෙයි.
ඉපදෙන මැරෙන ලෝකය ප්‍රහාණය කරන ලද්දේ, බඹසර පිරිපුන් කරන ලද්දේ වෙයි ද, යමෙකුට ආශ්‍රවයෝ නැද්ද, මම ඒ තැනැත්තා ස්ථවිර යැයි කියමි. ආශ්‍රවයන් ක්ෂය වූ ඒ භික්ෂුව ‘ස්ථවිර’ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය උරුවේල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M