මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, එක් අවදියක මම සම්බුද්ධත්වයෙන් පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරංජරා නදී තෙර අජපාල නම් නුග රුක් සෙවණෙහි සිටියෙමි. මහණෙනි, හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි මා හට මෙබඳු වූ කල්පනාවක් ඇතිවූයේ ය. එනම් ‘අනෙකෙකු කෙරෙහි ගෞරව නැතිව, පිහිට නැතිව වාසය කරයි නම් එය දුකකි. එනිසා මම් කවර හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාර කොට, ගුරු තනතුරෙහි තබා ඔහු ඇසුරෙන් වසන්නේ නම් මැනැවැ’යි.
එකල්හී මහණෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මම් අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඇසුරු කොට වසන්නෙම් නම් එසේ විසිය යුත්තේ මා තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ කරගැනීම පිණිස යි. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට මම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා විසිය යුත්තෙම් නම් එබඳු වූ අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මට වඩා සීලයෙන් උසස් වූ කෙනෙකු නොදකිමි.
මම් අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඇසුරු කොට වසන්නෙම් නම් එසේ විසිය යුත්තේ මා තුළ යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ කරගැනීම පිණිස යි. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට මම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා විසිය යුත්තෙම් නම් එබඳු වූ අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මට වඩා සමාධියෙන් උසස් වූ කෙනෙකු නොදකිමි.
මම් අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඇසුරු කොට වසන්නෙම් නම් එසේ විසිය යුත්තේ මා තුළ යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ කරගැනීම පිණිස යි. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට මම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා විසිය යුත්තෙම් නම් එබඳු වූ අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මට වඩා ප්‍රඥාවෙන් උසස් වූ කෙනෙකු නොදකිමි.
මම් අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඇසුරු කොට වසන්නෙම් නම් එසේ විසිය යුත්තේ මා තුළ යම් විමුක්තියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ කරගැනීම පිණිස යි. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට මම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා විසිය යුත්තෙම් නම් එබඳු වූ අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මට වඩා විමුක්තියෙන් උසස් වූ කෙනෙකු නොදකිමි’ යි.
එකල්හී මහණෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් යම් මේ ධර්මයක් අවබෝධ කරන ලද්දේ ද, ඒ ධර්මයට ම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඒ ධර්මය ම ඇසුරු කොටගෙන වසන්නෙම් නම් මැනැවි’ යි.
ඉක්බිති මහණෙනි, සහම්පතී බ්‍රහ්මරාජයා ඔහුගේ සිතින් මාගේ සිතෙහි වූ කල්පනාව දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ, දික් කළ අතක් හකුලන්නේ යම් වේගයකින් ද එපරිද්දෙන් බ්‍රහ්මලෝකයෙන් නොපෙනී ගොස් මා ඉදිරියෙහි පහළ වූයේ ය. එකල්හී මහණෙනි, ඒ සහම්පතී බ්‍රහ්මරාජ තෙමේ උතුරු සළුව ඒකාංශ කොට පොරොවා දකුණු දණ මඬල පොළොවෙහි තබා මා වෙත ඇඳිලි බැඳ මට මෙකරුණ පැවසූයේ ය.
“භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයාණන් වහන්ස, එය එසේ ම ය. ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයෙහි වැඩසිටි සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා ත් ධර්මයට ම සත්කාර කොට, ගුරු තනතුරෙහි තබා ධර්මය ම ඇසුරෙන් වාසය කළ සේක. එමෙන් ම ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනාගතයෙහි පහළවන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා ත් ධර්මයට ම සත්කාර කොට, ගුරු තනතුරෙහි තබා ධර්මය ම ඇසුරෙන් වාසය කරන්නාහු ය. ස්වාමීනී, මෙකල අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයට ම සත්කාර කොට, ගුරු තනතුරෙහි තබා ධර්මය ම ඇසුරෙන් වැඩවාසය කරන සේක්වා!” යි.
සහම්පතී බ්‍රහ්මරාජයා මෙය පැවසුවේ ය. මෙසේ පවසා යළි අන්‍ය වූ මේ ගාථාවන් ද පැවසුවේ ය.
(ගාථා)
“යම් සම්බුදුවරයන් වහන්සේලා අතීතයෙහි සිටියාහු ද, අනාගතයෙහි පහළ වන යම් බුදුවරයෝ සිටිත් ද, මේ වර්තමානයෙහි බොහෝ දෙනාගේ දුක ශෝක නසන යම් සම්බුදු කෙනෙකුන් සිටිත් ද,
ඒ සියළු දෙනා වහන්සේ ම සද්ධර්මය ගුරු කොට විසූ සේක. වසන සේක. එමෙන් ම අනාගතයෙහිද වසන්නාහු ය. මෙය බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවයකි.
එහෙයින් තම යහපත කැමති, තමාගේ මහත් වූ අභිවෘද්ධිය කැමති යමෙක් බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනය සිහි කරයි නම් ඔහු සද්ධර්මයට ගරු කළ යුත්තේ ය.”
මහණෙනි, සහම්පතී බ්‍රහ්මරාජයා මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
ඉක්බිති මහණෙනි, මම බ්‍රහ්මරාජයාගේ ද අදහස දැන, මා හට ද එය යෝග්‍ය බව දැන, මා විසින් යම් ධර්මයක් අවබෝධ කරන ලද්දේ ද, ඒ ධර්මයට ම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඇසුරු කොට වාසය කළෙමි. මහණෙනි, යම් කලෙක සංඝ තෙමේ ද පිරිස වශයෙන් ද, ගුණ වශයෙන් ද මහත් බවින් යුක්ත වූයේ ද, එකල්හී මා තුළ සංඝයා කෙරෙහි ද බලවත් ගෞරවයක් ඇති විය.
සාදු! සාදු!! සාදු!!!
පඨම උරුවේල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M