අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.1.9. තණ්හුප්පාද සුත්තං

4.1.1.9. තෘෂ්ණාව ගැන වදාළ දෙසුම

“චත්තාරෝමේ, භික්ඛවේ, තණ්හුප්පාදා යත්ථ භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. කතමේ චත්තාරෝ? චීවරහේතු වා, භික්ඛවේ, භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති; පිණ්ඩපාතහේතු වා, භික්ඛවේ, භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති; සේනාසනහේතු වා, භික්ඛවේ, භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති; ඉතිභවාභවහේතු වා, භික්ඛවේ, භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. ඉමේ ඛෝ, භික්ඛවේ, චත්තාරෝ තණ්හුප්පාදා යත්‍ර භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”ති.

මහණෙනි, යම් කරුණක් පිළිබඳ ව භික්ෂුව තුළ තෘෂ්ණාව උපදියි නම් ඒ තෘෂ්ණාව උපදවන්නා වූ කරුණු සතරක් තිබේ. ඒ කවර කරුණු සතරක් ද යත්;

මහණෙනි, භික්ෂුව තුළ තෘෂ්ණාව ඉපදුනොත් උපදින්නේ සිවුරු හෝ පිළිබඳ ව ය. මහණෙනි, භික්ෂුව තුළ තෘෂ්ණාව ඉපදුනොත් උපදින්නේ ආහාරපාන හෝ පිළිබඳ ව ය. මහණෙනි, භික්ෂුව තුළ තෘෂ්ණාව ඉපදුනොත් උපදින්නේ වාසය කරන තැන් ආදී සෙනසුන් හෝ පිළිබඳ ව ය. මහණෙනි, භික්ෂුව තුළ තෘෂ්ණාව ඉපදුනොත් උපදින්නේ මේ අයුරින් තමන් හට ලැබෙන නොලැබෙන දේ හෝ පිළිබඳ ව ය.

මහණෙනි, යම් කරුණක් පිළිබඳ ව භික්ෂුව තුළ තෘෂ්ණාව උපදියි නම් ඒ තෘෂ්ණාව උපදවන්නා වූ කරුණු සතර මෙය යි.

“තණ්හා දුතියෝ පුරිසෝ, දීඝමද්ධාන සංසරං;
ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.

තණ්හාව නම් වූ දෙවැනියෙක් සිටින පුරුෂයා මේ සා දීර්ඝ කාලයක් සසරෙහි සැරිසරන්නේ මෙලොවින් පරලොවට ත්, පරලොවින් මෙලොවට ත් ඉපිද ඉපිද යන ස්වභාවය ඉක්මවා නොයයි.

“ඒවමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවං;
වීතතණ්හෝ අනාදානෝ, සතෝ භික්ඛු පරිබ්බජේ”ති.

මෙහි ආදීනවය දැන, තණ්හාව යනු දුකෙහි හටගැනීමට මුල් වූ කරුණ යැයි අවබෝධ කරගත් තණ්හාව රහිත වූ උපාදාන රහිත වූ භික්ෂුව සිහි නුවණින් හැසිරෙන්නේ ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M