මහණෙනි, මේ ක්ලේශ යෝගයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්; කාමයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීම යි. භවයෝගය හෙවත් භවයන්හි යෙදී සිටීම යි. දිට්ඨියෝගය හෙවත් දෘෂ්ටි ග්‍රහණයෙහි යෙදී සිටීම යි. අවිජ්ජායෝගය හෙවත් අවිද්‍යාවෙහි යෙදී සිටීම යි.
1. මහණෙනි, කාමයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීම යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් පංච කාමයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් නොදනියි. මෙසේ පංච කාමයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම නොදැනීම නිසා ඔහු තුළ පංච කාමයන් පිළිබඳ ව යම් කාමරාගයක් ඇද්ද, කාමයෙන් සතුටු වීමක් ඇද්ද, කාමයන් කෙරෙහි බැඳීමක් ඇද්ද, කාමයන්හි මුසපත් වීමක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දාහයක් ඇද්ද, කාමය තුළ ම බැසගැනීමක් ඇද්ද, කාම තණ්හාවක් ඇද්ද, එය අත්නොහැර පවත්වයි. මහණෙනි, මෙය කාමයෝගය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, භවයෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් භවයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් නොදනියි. මෙසේ භවයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම නොදැනීම නිසා ඔහු තුළ භවයන් පිළිබඳ ව යම් භවරාගයක් ඇද්ද, භවයෙන් සතුටු වීමක් ඇද්ද, භවයන් කෙරෙහි බැඳීමක් ඇද්ද, භවයන්හි මුසපත් වීමක් ඇද්ද, භව පිපාසයක් ඇද්ද, භව දාහයක් ඇද්ද, භවය තුළ ම බැසගැනීමක් ඇද්ද, භව තණ්හාවක් ඇද්ද, එය අත්නොහැර පවත්වයි. මහණෙනි, මෙය භවයෝගය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, දිට්ඨියෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් දෘෂ්ටීන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් නොදනියි. මෙසේ දෘෂ්ටීන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම නොදැනීම නිසා ඔහු තුළ දෘෂ්ටීන් පිළිබඳ ව යම් දෘෂ්ටිරාගයක් ඇද්ද, දෘෂ්ටියෙන් සතුටු වීමක් ඇද්ද, දෘෂ්ටීන් කෙරෙහි බැඳීමක් ඇද්ද, දෘෂ්ටීන්හි මුසපත් වීමක් ඇද්ද, දෘෂ්ටි පිපාසයක් ඇද්ද, දෘෂ්ටි දාහයක් ඇද්ද, දෘෂ්ටි තුළ ම බැසගැනීමක් ඇද්ද, දෘෂ්ටි තණ්හාවක් ඇද්ද, එය අත්නොහැර පවත්වයි. මහණෙනි, මෙය දිට්ඨියෝගය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, අවිජ්ජායෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් නොදනියි. මෙසේ සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම නොදැනීම නිසා ඔහු තුළ සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන් පිළිබඳ ව යම් අවිද්‍යාවක් ඇද්ද, එය අත්නොහැර පවත්වයි. මහණෙනි, මෙය අවිජ්ජායෝගය යැයි කියනු ලැබේ.
පාපී අකුසල ධර්මයන්ගෙන් ද, සිත කිළුටු කරන කරුණෙන් ද, පුනර්භවයක් ඇති කරන කරුණෙන් ද, පීඩා දුක් උපදවන කරුණෙන් ද, නැවත නැවත ඉපදීම් ජරා මරණ ආදියෙහි පමුණුවන කරුණෙන් ද යන මේ කරුණු වලින් යුක්ත වූ තැනැත්තාට ‘අයෝගක්ඛේමී’ යැයි කියනු ලැබේ.
මහණෙනි, කාමයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීම, භවයෝගය හෙවත් භවයන්හි යෙදී සිටීම, දිට්ඨියෝගය හෙවත් දෘෂ්ටි ග්‍රහණයෙහි යෙදී සිටීම, අවිජ්ජායෝගය හෙවත් අවිද්‍යාවෙහි යෙදී සිටීම යනු මෙය යි.
මහණෙනි, මේ විසංයෝගයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
කාමයෝගවිසංයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීමෙන් වෙන්වීම යි. භවයෝගවිසංයෝගය හෙවත් භවයන්හි යෙදී සිටීමෙන් වෙන්වීම යි. දිට්ඨියෝගවිසංයෝගය හෙවත් දෘෂ්ටි ග්‍රහණයෙහි යෙදී සිටීමෙන් වෙන්වීම යි. අවිජ්ජායෝගවිසංයෝගය හෙවත් අවිද්‍යාවෙහි යෙදී සිටීමෙන් වෙන්වීම යි.
1. මහණෙනි, කාමයෝගවිසංයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීමෙන් වෙන්වීම යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් පංච කාමයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් දනියි. මෙසේ පංච කාමයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනීම නිසා ඔහු තුළ පංච කාමයන් පිළිබඳ ව යම් කාමරාගයක් ඇද්ද, කාමයෙන් සතුටු වීමක් ඇද්ද, කාමයන් කෙරෙහි බැඳීමක් ඇද්ද, කාමයන්හි මුසපත් වීමක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දාහයක් ඇද්ද, කාමය තුළ ම බැසගැනීමක් ඇද්ද, කාම තණ්හාවක් ඇද්ද, එය නොපවත්වයි. මහණෙනි, මෙය කාමයෝගවිසංයෝගය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, භවයෝගවිසංයෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් භවයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් දනියි. මෙසේ භවයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනීම නිසා ඔහු තුළ භවයන් පිළිබඳ ව යම් භවරාගයක් ඇද්ද, භවයෙන් සතුටු වීමක් ඇද්ද, භවයන් කෙරෙහි බැඳීමක් ඇද්ද, භවයන්හි මුසපත් වීමක් ඇද්ද, භව පිපාසයක් ඇද්ද, භව දාහයක් ඇද්ද, භවය තුළ ම බැසගැනීමක් ඇද්ද, භව තණ්හාවක් ඇද්ද, එය නොපවත්වයි. මහණෙනි, මෙය භවයෝගවිසංයෝගය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, දිට්ඨියෝගවිසංයෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් දෘෂ්ටීන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් දනියි. මෙසේ දෘෂ්ටීන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනීම නිසා ඔහු තුළ දෘෂ්ටීන් පිළිබඳ ව යම් දෘෂ්ටිරාගයක් ඇද්ද, දෘෂ්ටියෙන් සතුටු වීමක් ඇද්ද, දෘෂ්ටීන් කෙරෙහි බැඳීමක් ඇද්ද, දෘෂ්ටීන්හි මුසපත් වීමක් ඇද්ද, දෘෂ්ටි පිපාසයක් ඇද්ද, දෘෂ්ටි දාහයක් ඇද්ද, දෘෂ්ටි තුළ ම බැසගැනීමක් ඇද්ද, දෘෂ්ටි තණ්හාවක් ඇද්ද, එය නොපවත්වයි. මහණෙනි, මෙය දිට්ඨියෝගවිසංයෝගය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, අවිජ්ජායෝගවිසංයෝගය යනු කුමක්ද? මහණෙනි, මෙහිලා කෙනෙක් සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීම පිළිබඳ ව ත්, නැසීයාම පිළිබඳ ව ත්, ආශ්වාදය පිළිබඳ ව ත්, ආදීනවය පිළිබඳ ව ත්, නිස්සරණය හෙවත් එයින් නිදහස් වීම පිළිබඳ ව ත් ඇත්ත ඇති සැටියෙන් දනියි. මෙසේ සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන්ගේ හටගැනීම ත්, නැසීයාම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනීම නිසා ඔහු තුළ සය වැදෑරුම් ස්පර්ශ ආයතනයන් පිළිබඳ ව යම් අවිද්‍යාවක් ඇද්ද එය නොපවත්වයි. මහණෙනි, මෙය අවිජ්ජායෝගවිසංයෝගය යැයි කියනු ලැබේ.
පාපී අකුසල ධර්මයන්ගෙන් ද, සිත කිළුටු කරන කරුණෙන් ද, පුනර්භවයක් ඇති කරන කරුණෙන් ද, පීඩා දුක් උපදවන කරුණෙන් ද, නැවත නැවත ඉපදීම් ජරා මරණ ආදියෙහි පමුණුවන කරුණෙන් ද යන මේ කරුණු වලින් වෙන් වූ තැනැත්තාට ‘යෝගක්ඛේමී’ යැයි කියනු ලැබේ.
මහණෙනි, කාමයෝගවිසංයෝගය හෙවත් පංච කාමයෙහි යෙදී සිටීමෙන් වෙන්වීම, භවයෝගවිසංයෝගය හෙවත් භවයන්හි යෙදී සිටීමන් වෙන්වීම, දිට්ඨියෝගවිසංයෝගය හෙවත් දෘෂ්ටි ග්‍රහණයෙහි යෙදී සිටීමෙන් වෙන්වීම, අවිජ්ජායෝගවිසංයෝගය හෙවත් අවිද්‍යාවෙහි යෙදී සිටීමෙන් වෙන්වීම යනු මෙය යි.
කාමයෝගයන් හා එක් වී සිටින්නා වූ ත්, භවයෝගය හා එක් වී සිටින්නා වූ ත්, දෘෂ්ටියෝගය හා එක් වී සිටින්නා වූ ත්, අවිද්‍යාව පෙරටු කොට සිටින්නා වූ ත් සත්වයෝ ඉපදෙන මැරෙන දුක් සහිත සසරට ම යති.
යම් කෙනෙක් කාමයන් පිරිසිඳ දැන සියලු භවයෝගය ත් අවබෝධ කොට, දෘෂ්ටි යෝගයන් මුලින් ම උදුරා දමා අවිද්‍යාව අත්හැර සියලු යෝගයන් ගෙන් වෙන් වී වසත් ද, ඔවුහු ඒකාන්තයෙන් ම කාමාදී යෝගයන් ඉක්මවා ගිය මුනිවරයෝ ය.
යෝග සූත්‍රය නිමා විය.
පළමුවෙනි භණ්ඩගාම වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අනුබුද්ධ සූත්‍රය, පපතිත සූත්‍රය, ඛත සූත්‍ර දෙක, පස්වෙනි අනුසෝත සූත්‍රය, අප්පස්සුත සූත්‍රය, සෝභෙන්ති සූත්‍රය, වේසාරජ්ජ සූත්‍රය, තණ්හා සූත්‍රය සහ යෝග සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M