අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.1.8. වේසාරජ්ජ සුත්තං

4.1.1.8. විශාරද ඥාන ගැන වදාළ දෙසුම

“චත්තාරිමානි , භික්ඛවේ, තථාගතස්ස වේසාරජ්ජානි, යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති , පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති. කතමානි චත්තාරි? ‘සම්මාසම්බුද්ධස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධා’ති තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං, භික්ඛවේ, න සමනුපස්සාමි. ඒතපහං භික්ඛවේ, නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

මහණෙනි, තථාගතයන් වහන්සේ හට විශාරද ඥාන සතරක් ඇත. ඒ විශාරද ඥානයන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරයි. පිරිස් මැද සිහනද පතුරයි. ශ්‍රේෂ්ඨ වූ චක්‍රය වන ධර්ම චක්‍රය කරකවයි. කවර විශාරද ඥාන සතරක් ද යත්;

1. ‘ගුරූපදේශ රහිත ව සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූ බවට ප්‍රතිඥා දෙන නමුත් ඔබ විසින් මේ මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය’ වශයෙන් මහණෙනි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිත ව මා හට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.

“ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණා’ති තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං, භික්ඛවේ, න සමනුපස්සාමි. ඒතපහං, භික්ඛවේ, නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

2. ‘ආශ්‍රවයන් ක්ෂය වූ බවට ප්‍රතිඥා දෙන නමුත් ඔබ විසින් මේ මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලද්දාහු ය’ වශයෙන් මහණෙනි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිත ව මා හට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.

“යේ ඛෝ පන තේ අන්තරායිකා ධම්මා වුත්තා තේ පටිසේවතෝ නාලං අන්තරායායා’ති තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං, භික්ඛවේ, න සමනුපස්සාමි. ඒතපහං, භික්ඛවේ, නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

3. ‘ඔබ විසින් නිවන් මගට අනතුරු පිණිස මේ මේ කරුණු පවතින්නේ යැයි පවසන ලද්දේ ය. එනමුදු ඒ කරුණු සේවනය කරන්නෙකුට එයින් වන අනතුරක් නැතැයි’ වශයෙන් මහණෙනි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිත ව මා හට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.

“යස්ස ඛෝ පන තේ අත්ථාය ධම්මෝ දේසිතෝ සෝ න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං, භික්ඛවේ, න සමනුපස්සාමි. ඒතපහං, භික්ඛවේ, නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි. ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි තථාගතස්ස වේසාරජ්ජානි, යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේතී”ති.

4. ‘ඔබ විසින් යම් ඉලක්කයක් උදෙසා ධර්මය දේශනා කරන ලද්දේ ද, ඒ ධර්මය පුරුදු කරන්නෙකුට එම ඉලක්කය වන මැනැවින් දුක් ගෙවී යාම සිදු නොවන්නේ ය’ වශයෙන් මහණෙනි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිත ව මා හට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකින්නේ භය නැති තැනට පත් වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.

මහණෙනි, තථාගතයන් වහන්සේ හට තිබෙන්නේ මෙම විශාරද ඥාන සතර ය. මේ විශාරද ඥානයන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා කරයි. පිරිස් මැද සිහනද පතුරයි. ශ්‍රේෂ්ඨ වූ චක්‍රය වන ධර්ම චක්‍රය කරකවයි.

යේ කේචිමේ වාදපථා පුථුස්සිතා,
යං නිස්සිතා සමණබ්‍රාහ්මණා ච;
තථාගතං පත්වා න තේ භවන්ති,
විසාරදං වාදපථාභිවත්තිනං.

යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නොයෙක් වාද විවාදයන් ඇසුරු කරමින් සිටිත් ද, ඒ වාද විවාදයන් ම බොහෝ දියුණු කොට සිටිත් ද, එබඳු වූ කිසි වාද විවාදයක් ඇත්නම් ඒ සියල්ල වාද විවාදයන් ඉක්මවා ගිය විශාරද වූ තථාගතයන් වහන්සේ කරා පැමිණ නැති වී යයි.

යෝ ධම්මචක්කං අභිභුය්‍ය කේවලී,
පවත්තයී සබ්බභූතානුකම්පී;
තං තාදිසං දේවමනුස්සසෙට්ඨං,
සත්තා නමස්සන්ති භවස්ස පාරගුන්ති.

සියළු සත්වයන් හිතානුකම්පී වූ සකල ගුණයෙන් පිරිපුන් වූ වාදයන් මැඬලන්නා වූ යම් තථාගත කෙනෙක් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළේ ද, භවයෙහි එතෙරට ගිය දෙව්මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ එබඳු තථාගතයන් හට ලෝක සත්වයෝ වන්දනා කරති.

වේසාරජ්ජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M