මහණෙනි, සතර කරුණකින් යුක්ත බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;
1. නොවිමසා, සම්පූර්ණයෙන් කරුණු නොසොයා වර්ණනා නොකළ යුතු තැනැත්තා ව වර්ණනා කරයි.
2. නොවිමසා, සම්පූර්ණයෙන් කරුණු නොසොයා වර්ණනා කළ යුතු තැනැත්තාට නින්දා අපහාස කරයි.
3. නොවිමසා, සම්පූර්ණයෙන් කරුණු නොසොයා අපැහැදිය යුතු කරුණෙහි පැහැදීම ඇති කරගනියි.
4. නොවිමසා, සම්පූර්ණයෙන් කරුණු නොසොයා පැහැදිය යුතු කරුණෙහි අපැහැදීම ඇති කරගනියි.
මහණෙනි, මේ සතර කරුණකින් යුක්ත බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.
මහණෙනි, සතර කරුණකින් යුක්ත නුවණැති වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇති ව, වනසා නොගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් ද වෙයි. බොහෝ පින් ද රැස් කරයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;
1. විමසා, සම්පූර්ණයෙන් කරුණු සොයා වර්ණනා නොකළ යුතු තැනැත්තා ව වර්ණනා නොකරයි.
2. විමසා, සම්පූර්ණයෙන් කරුණු සොයා වර්ණනා කළ යුතු තැනැත්තා ව වර්ණනා කරයි.
3. විමසා, සම්පූර්ණයෙන් කරුණු සොයා අපැහැදිය යුතු කරුණෙහි අපැහැදීම ඇති කරගනියි.
4. විමසා, සම්පූර්ණයෙන් කරුණු සොයා පැහැදිය යුතු කරුණෙහි පැහැදීම ඇති කරගනියි.
මහණෙනි, මේ සතර කරුණකින් යුක්ත නුවණැති වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇති ව, වනසා නොගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් ද වෙයි. බොහෝ පින් ද රැස් කරයි.
යමෙක් නින්දා ලැබිය යුත්තා පසසයි ද, යමෙක් පැසසුම් ලැබිය යුත්තාට ගරහයි ද, ඔහු තම මුඛය හේතුවෙන් පව් රැස් කරගන්නේ ය. පවින් පවක් ම විනා සැපයක් නොවිඳියි.
යමෙක් සූදු ක්‍රීඩාවෙකින් තමා ත් සමඟ තමාගේ සියළුම දේපල වස්තුව ත් පරදින්නේ ද, මෙය අල්ප වූ පරාජයකි. එහෙත් යමෙක් යහපත් මගට පිළිපන්නවුන් කෙරෙහි සිත දූෂ්‍ය කරගන්නේ ද, මහත් ම පරාජය යනු මෙය යි.
යම් හෙයකින් දරුණු වචනයෙන් ද, දූෂිත සිතින් ද යුතුව ආර්යයන් හට ගරහා නිරයෙහි උපදියි ද, එහි නිරබ්බුද එක්ලක්ෂ තිස් හයක කාලයකුත්, අබ්බුද පහක කාලයකුත් දුක් විඳින්නේ ය.
පඨම ඛත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M