අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.8.

අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා අනුරුද්ධෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච:

එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඩසිටි තැනට පැමිණියා. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් සමඟ පිළිසඳර කථාබහෙන් සතුටු වුනා. සතුටු විය යුතු සිහි කළ යුතු කථාව නිම කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට මෙකරුණ පැවසුවා.

ඉදාහං ආවුසෝ සාරිපුත්ත, දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකං ඕලෝකේමි. ආරද්ධං ඛෝ පන මේ විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා, පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං. අථ ච පන මේ න අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චතීති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මෙහි මම මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් දහසක් ලෝක බලනවා. මා තුළ පටන් ගත් වීරිය තියෙනවා. ඒ වීරිය සැඟවෙලා නෑ. සිහිය හොඳින් පිහිටලා තියෙනවා. මුලා වෙලා නෑ. කයත් සැහැල්ලුයි. බරක් නෑ. සිත සමාහිත වෙලයි තියෙන්නේ. එකඟ වෙලයි තියෙන්නේ. ඒ වුනත් මගේ සිත කිසිවකට ග්‍රහණය නොවී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ.”

[සාරිපුත්තෝ:]

[සාරිපුත්තයන් වහන්සේ;]

යං ඛෝ තේ ආවුසෝ අනුරුද්ධ, ඒවං හෝති: ‘ඒවාහං දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සහස්සං ලෝකං ඕලෝකේමී’ති ඉදං තේ මානස්මිං.

“ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, යම් හෙයකින් ඔබට මෙහෙම සිතෙනවා නෙව. ‘මං මේ විදිහට මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් දහසක් ලෝකයන් බලනවා’ කියලා. ඔය අදහස තියෙන්නේ ඔබගේ මානය තුළයි.

යම්පි තේ ආවුසෝ අනුරුද්ධ, ඒවං හෝති: ‘ආරද්ධං ඛෝ පන මේ විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගන්ති’ ඉදං තේ උද්ධච්චස්මිං.

ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, යම් හෙයකින් ඔබට මෙහෙමත් සිතෙනවා නෙව. ‘මා තුළ පටන්ගත් වීරිය තියෙනවා. ඒ වීරිය සැඟවිලා නෑ. සිහිය හොඳින් පිහිටලා තියෙනවා. මුලා වෙලා නෑ. කයත් සැහැල්ලුයි. බරක් නෑ. සිත සමාහිත වෙලයි තියෙන්නේ. එකඟ වෙලයි තියෙන්නේ’ කියලා. ඔය අදහස තියෙන්නේ ඔබගේ සිතේ විසිරීම තුළයි.

යම්පි තේ ආවුසෝ අනුරුද්ධ, ඒවං හෝති: ‘අථ ච පන මේ න අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චතී’ති ඉදං තේ කුක්කුච්චස්මිං.

ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ, යම් හෙයකින් ඔබට මෙහෙමත් සිතෙනවා නෙව. ‘ඒ වුනත් මගේ සිත කිසිවකට ග්‍රහණය නොවී ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ’ කියලා. ඔය අදහස තියෙන්නේ ඔබගේ පසුතැවීම තුළයි.

සාධු වතායස්මා අනුරුද්ධෝ ඉමේ තයෝ ධම්මේ පහාය ඉමේ තයෝ ධම්මේ අමනසිකරිත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරතූති.

ප්‍රිය ආයුෂ්මත් අනුරුද්ධයන් ඔය කාරණා තුන ප්‍රහාණය කරලා, ඔය කාරණා තුන සිහි නොකොට ඒ අමා නිවනට සිත යොමු කිරීම තමයි හොඳ.”

අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ අපරේන සමයේන ඉමේ තයෝ ධම්මේ පහාය ඉමේ තයෝ ධම්මේ අමනසි කරිත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරි. අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච පනායස්මා අනුරුද්ධෝ අරහතං අහෝසීති.

එතකොට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පසු කාලයේදී මේ කාරණා තුන ප්‍රහාණය කරලා, මේ කාරණා තුන සිහි නොකොට, ඒ අමා නිවනට සිත යොමු කළා. ඉතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් තනිව වාසය කළා. හුදෙකලා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරද්දී යම් අර්ථයක් පිණිස පින්වත් කුල පුත්‍රයන් මැනැවින් ගිහිගෙයින් නික්ම බුදු සසුනේ පැවිද්ද ලබනවා නම්, නොබෝ කලකින්ම ඒ අනුත්තර වූ බඹසර ජීවිතයේ කෙළවර වන අරහත්වය තමා විසින්ම උපදවා ගත් විශිෂ්ට වූ ඤාණයෙන් මේ ජීවිතයේදීම සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නැවත සසරෙහි ඉපදීමක් නැතැ’යි අවබෝධ වුනා. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත්වුනා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M