සැවැත් නුවරදී …………….
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා හත්ථක දිව්‍යපුත්‍රයා රැය ඉක්ම ගිය පසු ඉතාමත් දිදුලන වර්ණයෙන් යුතුව මුළු දෙව්රම් වෙහෙරම ආලෝකවත් කරමින් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිටගෙන සිටිමියි සිතා උත්සාහ කළත් ගිලෙනවා. වැගිරී යනවා. නැවතී සිටීමට පුළුවන්කමක් නෑ. ඒක මේ වගේ දෙයක්. ගිතෙල් හෝ තෙල් හෝ වැලි මතට ඉසිනා ලද විට යටට ගිලෙනවා. වැලි තුළට වැගිරෙනවා. පිහිටන්නේ නෑ. අන්න ඒ විදිහටම හත්ථක දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටිමිය සිතා උත්සාහ කළත් ගිලෙනවා. වැගිරී යනවා. නැවතී සිටීමට පුළුවන්කමක් නෑ.
එතකොට භාග්‍යවතුන් වහන්සේ හත්ථක දිව්‍යපුත්‍රයාට මෙය වදාළා. “පින්වත් හත්ථක, ගොරෝසු ආත්මභාවයක් මවාගන්න.”
“එසේය, ස්වාමීනී” කියලා හත්ථක දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ගොරෝසු ආත්මභාවයක් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි හත්ථක දිව්‍යපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.
“පින්වත් හත්ථක, ඉස්සර මිනිස් ජීවිතය ගත කරද්දී ඔබ තුළ යම් බණ දහම් වැටහීම පැවතුනාද, දැනුත් ඔබ තුළ ඒ බණ දහම් වැටහී පවතිනවාද?”
“ස්වාමීනී, ඉස්සර මිනිස් ජීවිතය ගත කරද්දී මට යම් බණ දහම් වැටහී පැවතුනා නම්, දැනුත් මා හට ඒ බණ දහම් එසේම වැටහී පවතිනවා. ඒ වගේම ස්වාමීනී, ඉස්සර මිනිස් ජීවිතය ගත කරද්දී මට යම් බණ දහම් නොවැටහී පැවතුනා නම්, දැන් මා හට ඒ බණ දහම්ද වැටහී පවතිනවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. භාග්‍යවතුන් වහන්සේ මේ දිනවල භික්ෂු භික්ෂුණීන්, උපාසක උපාසිකාවන්, රාජ රාජමහාමාත්‍යාදීන්, අන්‍යාගමික තාපසවරුන්, අන්‍යාගමික ශ්‍රාවකයින් විසින් පිරිවරන ලදුව වැඩවසනා සෙක්ද, ස්වාමීනී, ඒ විදිහමයි. මාත් දිව්‍යපුත්‍රයන් විසින් පිරිවරාගෙනයි වාසය කරන්නේ. ස්වාමීනී, ‘හත්ථක දිව්‍යපුත්‍රයා වෙතින් බණ අසන්නට ඕනෑ’ කියලා දිව්‍යපුත්‍රයෝ දුර ඉඳලත් එනවා. ස්වාමීනී, මා කළුරිය කළේ කාරණා තුනක් පිළිබඳව තෘප්තියට පත්වෙලා නොවේ. එපා වෙලා නොවේ. ඒ තුන මොනවාද?
ස්වාමීනී, මං කළුරිය කළේ භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියකට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි. ස්වාමීනී, මං කළුරිය කළේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් තෘප්තියකට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි. ස්වාමීනී, මං කළුරිය කළේ ආර්ය සංඝයාට උපස්ථාන කිරීමෙන් තෘප්තියකට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි. ස්වාමීනී, මං කළුරිය කළේ ඔය කාරණා තුන පිළිබඳව තෘප්තියකට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි.
මට කවදාවත් භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් තෘප්තිමත් වූ බවක් ඇතිවුනේ නෑ. ඒ වගේම ආර්ය සංඝයාට උපස්ථාන කිරීමෙනුත්, සද්ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් තෘප්තිමත් වූ බවක් ඇතිවුනේ නෑ.
අධි සීලයෙහි හික්මෙමින්, සද්ධර්මය ශ්‍රවණයෙහි ඇලී සිටිමින්, කාරණා තුනක් පිළිබඳව අතෘප්තිමත්වයි හත්ථක අවිහ බඹලොවට ගියේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M