කිඹුල්වත් නුවරදී ………………
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි චාරිකාවේ වඩිමින් සිටියදී කිඹුල්වත්පුරයට වැඩම කළා. එහි මහානාම ශාක්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කළ බව අසන්නට ලැබුනා. ඉතින් මහානාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි මහානාම ශාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.
“පින්වත් මහානාම, යන්න. අද රාත්‍රියට අපට වැඩසිටීමට සුදුසු යම් ආවාසයක් මේ කිඹුල්වත් පුරයේ යම් තැනක තියෙනවා නම්, එහෙම තැනක් දැනගෙන එන්න.” එතකොට “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් මහානාම ශාක්‍යයා කපිලවස්තු නුවරට පිවිස මුළු කපිලවස්තුවේම ඔබමොබ ඇවිද යද්දී භාග්‍යවතුන් වහන්සේට එක් රැයක් වැඩසිටීමට ගැලපෙන යම් ආවාසයක් ඇද්ද, එබඳු ආවාසයක් කපිලවස්තුවේ දැකගන්නට ලැබුනේ නෑ.
එතකොට මහානාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය පැවසුවා. “ස්වාමීනී, මේ කිඹුල්වත්පුරයේ භාග්‍යවතුන් වහන්සේ අද එක් රැයක් වැඩසිටිනවා නම්, ඒ විදිහේ සුදුසු ආවාසයක් ලැබුනේ නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ පැරණි සබ්‍රහ්මචාරී කෙනෙක් වන මේ භරණ්ඩුකාලාම තවුසා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ අද ඔහුගේ ආශ්‍රමයෙහි එක් රැයක් වැඩවසන සේක්වා!”
“එසේ නම් පින්වත් මහානාම, යන්න. ඇතිරියක් පණවන්න.” “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් මහානාම ශාක්‍යයා භරණ්ඩු කාලාමගේ ආශ්‍රමයට ගියා. ගිහින් ඇතිරියක් පණවා, පා දෝවනය කිරීම පිණිස ජලයත් සූදානම් කරලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ස්වාමීනී, ඇතිරිය පැණෙව්වා. පා දෝවනය කිරීම පිණිස පැන් තිබ්බා. යම් දෙයකට දැන් සුදුසු කාලය නම්, භාග්‍යවතුන් වහන්සේ ඒ කාලය දන්නා සේක් නම් මැනැවි.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ භරණ්ඩුකාලාමගේ ආශ්‍රමය යම් තැනකද, එතැනට වැඩම කළා. වැඩම කොට පණවන ලද ආසනයෙහි වැඩසිටියා. වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පතුල් දෝවනය කොට වදාළා.
එතකොට මහානාම ශාක්‍යයාට මේ විදිහට හිතුනා. ‘අද භාග්‍යවතුන් වහන්සේ සමඟ කතාබස් කිරීමට සුදුසු කාලය නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට වෙහෙසයි. මා භාග්‍යවතුන් වහන්සේ සමඟ හෙට කතා කරනවා’ කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා.
ඉතින් මහානාම ශාක්‍යයා ඒ රාත්‍රිය ඉක්මයෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හිඳගත් මහානාම ශාක්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.
“පින්වත් මහානාම, මේ ලෝකයේ සිටින්නා වූ ශාස්තෘවරු තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද?
පින්වත් මහානාම, මෙහිලා ඇතැම් ශාස්තෘවරයෙක් කාමයන්ගේ පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා. නමුත් රූපයන්ගේ පිරිසිඳ අවබෝධ කිරීම පණවන්නේ නෑ. විඳීම්වල පිරිසිඳ අවබෝධ කිරීම පණවන්නේ නෑ. පින්වත් මහානාම, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ද පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා. රූපයන්ගේ ද පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා. නමුත් විඳීම්වල පිරිසිඳ අවබෝධ කිරීම පණවන්නේ නෑ. පින්වත් මහානාම, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ද පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා. රූපයන්ගේ ද පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා. විඳීමේ ද පිරිසිඳ අවබෝධ කිරීම පණවනවා.
පින්වත් මහානාම, මේ ශාස්තෘවරුන් තුන් දෙනාගේ තියෙන්නේ එකම ඉලක්කයක්ද? එහෙම නැත්නම් බොහෝ ඉලක්කද?”
මෙසේ කී විට භරණ්ඩුකාලාම තවුසා මහානාම ශාක්‍යයා හට මෙය පැවසුවා. “එම්බා මහානාමය, එකම ඉලක්කයයි කියන්න.”
මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයා හට මෙය වදාළා. “පින්වත් මහානාම, නා නා ඉලක්කයන් යැයි කියන්න.”
දෙවෙනි වතාවටත් ….(පෙ)…. තුන්වෙනි වතාවටත් භරණ්ඩුකාලාම තවුසා මහානාම ශාක්‍යයා හට මෙය පැවසුවා. “එම්බා මහානාමය, එකම ඉලක්කයයි කියන්න.”
තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයා හට මෙය වදාළා. “පින්වත් මහානාම, නා නා ඉලක්කයන් යැයි කියන්න.”
එතකොට භරණ්ඩුකාලාම තවුසාට මේ විදිහට හිතුනා. ‘ඒකාන්තයෙන්ම මේ මහේශාක්‍ය වූ මහානාම ශාක්‍යයා ඉදිරියේදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් තුන්වෙනි වතාවක් දක්වාම මාගේ ප්‍රකාශයට අප්‍රසාදයෙන් කථා කළා. දැන් මා කිඹුල්වත් පුරයෙන් පැනගන්නවා නම් තමයි හොඳ’ කියලා.
ඉතින් භරණ්ඩුකාලාම තවුසා කිඹුල්වත් පුරයෙන් නික්මිලා ගියා. යම් ලෙසකින් කිඹුල්වත්පුරයෙන් නික්ම ගියේද, එසේ ගියේම වුනා. නැවතත් ආපසු පැමිණියේ නෑ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M