පින්වත් මහණෙනි, මේ විපත් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සීල විපත්තිය, චිත්ත විපත්තිය හා දෘෂ්ටි විපත්තියයි.
පින්වත් මහණෙනි, සීල විපත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා. සොරකම් කරනවා. වැරදි කාමසේවනයෙහි යෙදෙනවා. බොරු කියනවා. කේළාම් කියනවා. පරුෂ වචන කියනවා. හිස් වචන කියනවා. පින්වත් මහණෙනි, මේකට තමයි සීල විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරනවා. ද්වේෂ සහගත සිතින් යුතු වෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි චිත්ත විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි විපත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. විපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක නැත. පුද කළ දෙයෙහි විපාක නැත. ගරු බුහුමන් කිරීමේ විපාක නැත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයෝවත්, බ්‍රාහ්මණයෝවත් නැත’ කියන විපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, සීල විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, මේ තමයි විපත්ති තුන.
පින්වත් මහණෙනි, සම්පත්ති තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය හා දෘෂ්ටි සම්පත්තියයි.
පින්වත් මහණෙනි, සීල සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. සොරකමෙන් වැළකී සිටිනවා. වැරදි කාමසේවනයෙන් වැළකී සිටිනවා. බොරු කීමෙන් වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. පරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි සීල සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, චිත්ත සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. ද්වේෂ සහගත සිතින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේකට තමයි චිත්ත සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි. අවිපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක ඇත. පුද කළ දෙයෙහි විපාක ඇත. ගරු බුහුමන් කිරීමේ විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවක් ඇත. පියෙක් ඇත. ඕපපාතිකව උපදින සත්වයන් ඇත. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන් ඇත’ කියන අවිපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, සීල සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.
පින්වත් මහණෙනි, මේ වනාහී තුන් අයුරු වූ සම්පත්තිය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M