පින්වත් මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර පුද්ගලයන් තුන් දෙනෙක්ද? සුප්පමෙය්‍ය හෙවත් පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා. දුප්පමෙය්‍ය හෙවත් අපහසුවෙන් මැනිය හැකි පුද්ගලයා. අප්පමෙය්‍ය හෙවත් මැනිය නොහැකි පුද්ගලයා.
පින්වත් මහණෙනි, පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අහංකාරයි. අධික මාන්නයෙන් යුක්තයි. චපලයි. කටවාචාලයි. අසංවර වූ වචන විසුරුවමින් කතා කරනවා. මුලා වූ සිහියෙන් යුක්තයි. නුවණින් තොරයි. සිතේ එකඟ බවක් නෑ. බිරාන්ත වෙච්ච සිතෙන් වාසය කරනවා. අසංවර ඉන්ද්‍රිය පැවැත්මෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙයාට තමයි සුප්පමෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, පහසුවෙන් මැනිය නොහැකි පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අහංකාර නෑ. අධික මාන්නයෙන් යුක්ත නෑ. චපල නෑ. කටවාචාල නෑ. අසංවර වූ වචන විසුරුවමින් කතා කරන්නේ නෑ. මනා සිහියෙන් යුක්තයි. නුවණින් යුක්තයි. සමාහිත සිතින් යුක්තයි. සිතේ එකඟ බවක් තියෙනවා. සංවර වූ ඉන්ද්‍රිය පැවැත්මෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙයාට තමයි දුප්පමෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, අප්පමෙය්‍ය පුද්ගලයා කවුද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවක් ඉන්නවා. ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ නමක්. පින්වත් මහණෙනි, මේ කෙනාට තමයි කියන්නේ අප්පමෙය්‍ය පුද්ගලයා කියලා.
පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයෙහි දකින්න ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M